Breaking News

ඇගේ පශ්චාත් අවමංගල සභාවෙන් අවසරයි!!

මාලනී මට හමු වන්නේ සංගීතා දවසේ දී ය. ඒ කැකිරාවේ. මම පොඩි එකෙක්. මට චිත්‍රපටයක් බලන්න යනවා කියලා ටවුන් එකට යන්න අවසරයක් ගෙදරින් තිබුණෙ නෑ.. චිත්‍රපටි ගැන ඇල්මක් අදහසක් අත්දැකීමක් තිබුණෙත් නෑ.. ගෙදර අයත් එක්ක “ශ්‍රී පතුල” චිත්‍ර පටය බැලුවට ඒක ආකර්ෂණයක් උණෙත් නෑ.. ඒත් ඒ අවස්ථාව ලැබුණා. අරියධම්ම හාමුදුරුවන්ගේ කවි බව කැකිරාවට ඇවිත්. මතකේ හැටියට සතියක් හෝ ඊට වැඩියි. ඒ හේතුවෙන් ලංගම බස් සේවාවකුත් තිබුණා. චූටියා මට වඩා වැඩිමහල්. අපි කතා වුණා බණ අහන්න යන්න. ගෙදරින් අවසර හම්බ වුණා.. අපි හවස බස් එකට නැග්ගා. කැකිරාවට ආවා. සෙනග නගර සභා පිටිටනිය අරිය ධම්ම සාදුගේ බණ අහන්න යනකොට චූටියා කිව්වා අපි චිත්‍ර පටියක් බලමු. උඹ බය වෙන්න එපා කියලා. එදා බැලුවේ අපි “අංජානා” ඊට පස්සේ හැමදාම අරිය ධම්ම හාමුදුරුවන්ගේ බණ අහන්න ආවා.

රානී කැකිරාව, අජන්තා කැකිරාව. චිත්‍රපටි හෝල් දෙකේ මාරුවෙන් මාරුවට චිත්‍රපටි බැලුවා.. එකම චිත්‍රපටිය දෙපාරක් තුන් පාරකුත් බැලුවා.. සංගීතා චිත්‍රපටිය බලා ඇඬුවා. ගෙදර ඇවිත් හිතෙන් බොහෝ පරිකල්පන ලෝකවල සරු සැරුවා.. සංගීතා බැලුවේ අලුත් පිටපත නෙවෙයි. ඒත් ඊට පස්සේ එන අලුත් පිටත්වල මාලනී- විජය, ගාමිනී – මාලනී, රවින්ද්‍ර- මාලනී, ජෝ- මාලනී, සනත්- මාලනී, ඇතුලු මෙකී නොකී අයත් එක්ක මාලනී ඉන්න නො බලපු එකක් නෑ කිව්වොත් නිවැරදියි.

මිහිඳුම් සිහින, තුෂාර, සුහද පැතුම, අක්කර පහ, මොනර තැන්න, මුවන් පැලැස්ස, නැවත හමුවෙමු, කස්තුරි සුවඳ එයා දැන් ලොකු ළමයෙක්, උන්නත් දාහයි, සිරිපාල සහ රන්මැණිකා,බඹරු ඇවිත්, වසන්තයේ දවසක්, හිඟන කොල්ලා, ආරාධනා, යස ඉසුරු, බැද්දේගම, ඉන්දුට මල්මිටක් , සොල්දාදු උන්නැහේ, මධුසමය, පුංචි බබා, සමුගනිමා මා සැමියනි, නිධානය, සුසී, යුගාන්තය, උඩු සුළග, වෑකන්ද වලව්ව, අන්තිම රැය, පයිලට් ප්‍රේම්නාත්, සඳ මඩල, සත්‍යා, රූමතියයි නීතියයි, සසර චේතනා, උමයංන්ගනා, සුවදෙන සුවඳක්, ස්ත්‍රී, රජ කෙල්ලෝ, හිතට දුකක් නැති නිසා, පාරාදීසේ, හොඳ හොඳ සෙල්ලම්, සිරි මැදුර, වරදට දඩුවම්, නැව ගිලුනත් බෑන් චූන්. එදත් සූරයා අදත් සූරයා, හතර දෙනාම සූරයෝ, සදහටම ඔබ මගේ අපේක්ෂා ආදී වර්ග නොකර බැලූ චිත්‍රපට ගණන එදා ගනන් කර කර ලිස්ට් එක වැඩි කර ගැනීම යි ඉලක්කය උනේ.

ඉතිං බලන්න අවස්ථාව ලැබුණු හැම චිත්‍රපටයක්ම බැලුවා.. ඒ ඇතුළේ මාලනිත් හිටියා. ඒ පෙම්වතියට මමත් පෙම් කළා.. දුක් වුණා, තැවුනා කම්පා වුණා.. සින්දු අහෙනකොට රූපප වුණා..

ඉතින් අපි ඈත් වුණා.. ඔබ වයසට ගියා.. මම ලොකු උණා.. ඔයා වගේම “එයා දැන් ලොකු ළමයෙක් වෙද්දි නම් ඔයාගේ චිත්‍රපටි බලන්න බැරි වුණා..

ඔබගේ වියෝව ගැන ඇත්තටම නම් ලොකු කම්පනයක් දැනුණෙ නෑ.. ඒත් තරහක් කෝපයක් අප්පිරියාවක් තිබුණෙ නෑ.. ඔයා දේශපාලනයට ආවාට පස්සේ ඔයා ටිකක් නෝන්ඩි වුණා වගේ අදහස් අහන්න කියවන්න ලැබුණා. ඒ නිසාමදෝ කොහෙද අර එදා තිබුණ ආදරය එහෙමම තිබුණා කිව්වොත් නිවැරදි නෑ.. ඒත් ඔබගේ මෑතම තොරුතුරුත්, ඒ දේවල්වල තිබුණු අර්ථකතනත්, ඔබේ හෘදයංග හැඟීම් එක්ක මම ඔබ දිහා උපේක්ෂාවෙන් බැලුවා.. ඔබටත් තවත් බොහෝ අයට මෙන් අසාධාරණයක් වෙලා තිබෙන බව මේ රාජ්‍ය අනුග්‍රහය සහ අගයකිරීම් අතරට ඉතිහාසය විසින් එකතු කර තිබෙනවා.. ඔබ වගේ අන් අයත්, අපි ඔක්කෝම සර්ව සම්පූර්ණ දෙවියන් නොවේ. අපි මිනිසුන් ය. ඔබ දෙවඟනක් නොවේ. නිළි රැජිනක් උනත් මිනිස් දුවකි, දෙව්දුවකට රඟපෑමක් කළත්.

ඉතින් මාලනී.. ඔබ, මාලනී සිහින ලෝකවල මාලනී.. අඳුරු තිරයේ මාලනී. කලු සුදු, වෛවර්ණ, පුළුල් තිරයේ මාලනී..

ඔබට සුභ ගමන්

මීට එදා ප්‍රේක්ෂක රසික අද උපේක්ෂාවේ අපේක්වේෂා සහිත විචාරක

උදය ආර්. තෙන්නකෝන්

leave a reply