Breaking News

ඇමති රක්ෂිතය ගැසට් කරන බවට පොරොන්දු වෙද්දී ඇමති ගෝලයො කැලේ කපනවා – වල්සපුගල ගොවීන්ගෙන් චෝදනා

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණද, චමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ සමීපතමයන් විසින් රක්ෂිතයේ වනාන්තර කොටස් එළිපෙහෙළි කිරීමත්, නීතිවිරෝධී ව්‍යාපෘති අලුතින් ආරම්භ කිරීමත් තවදුරටත් සිදුකරන බව වල්සපුගල විරෝධතාවයේ යෙදී සිටින ගොවින් පවසයි. වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම පවසා ඇත්තේ ඇමතිවරයාගේ සමීපතමයින් දවස පුරා බැකෝ යන්ත්‍ර යොදාගනිමින් වනාන්තර සහ ජල පෝෂක කොටස් එළිපෙහෙළි කරන බවත්, මේ නිසා විශේෂයෙන්ම වලව වම් ඉවුරේ ජල ගබඩාවක් ලෙස පවත්වාගෙන යන ලෙවල් කුෂන් වැව ගොඩවී ජලය ගබඩා කරගත නොහැකි තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇති බවයි.

‘කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු හින්දා කලබල වෙන්න එපා කියලා ඇමැතිවරයා කියනවා. එහෙනම් ඇමැතිවරයගෙ ගෝලයො තවදුරටත් සල්ලි, කාලය ඔක්කොම වියදම් කරගෙන මේ කැලෑ කපන්නෙ ඇයි. ඒගොල්ලොන්ට පණිවුඩයක් එවලා ඇති, උඹලා බයවෙන්න එපා, මං බලාගන්නම්, මේක කෙරෙන්නෙ නෑ, උඹලගෙ වැඩේ කරගෙන යමල්ලා කියලා.’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වලව දකුණු ඉවුර ගොවි සංවිධානයේ සභාපති එච්. සරත් ඇතුළු නියෝජිතයන් පෙන්වා දෙන්නේ පත්වූ ආණ්ඩු විසින් සෑම අවස්ථාවකදීම මේ පොරොන්දුව ලබාදුන් බවත්, එය ඉටු නොවූ බවත් ය. එම නිසා ජනතාව අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් සැක මතුකිරීම අසාධාරණ නොවන බවත්, ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් කළ යුත්තේ කඩිනමින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සහ වනාන්තර තුළ සිදුවන විනාශය නැවැත්වීමට පියවර ගැනීම බවත් ඔවුහු අවධාරණය කර තිබේ.

මේ වනවිටත් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත භූමියෙන් විශාල කොටසක කෙසෙල්, අඹ වැනි වගා පවත්වාගෙන යන අතර, ඒවා පවත්වාගෙන යනු ලබන්නේ ප්‍රදේශයේ ගොවීන් නොවේ. පිටස්තර ප්‍රදේශවලින් පැමිණි පිරිස් අක්කර 50, 100 සහ 150 වැනි කොටස්වල විදුලි වැටවල් යොදා මේ වගාවන් පවත්වාගෙන යන අතර, එම ප්‍රදේශයේ ගල් වළවල් 13ක් ද පවත්වාගෙන යනු ලබයි. මේ වනවිට මේ යෝජිත රක්ෂිත භූමියේ පමණක් ගල්වළවල් 36ක් සඳහා මහවැලි අධිකාරියෙන් අනුමැතිය ලබා දී ඇති බව ද වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනයේ සූරිය වැව නගරයේ පැවැත්වීමට කටයුතු කර තිබූ ගොවි අරගලයට සහය පළකිරීමේ විරෝධතාවය අධිකරණ නියෝගයකින් තහනම් කිරීමත් සමඟ අම්බලන්තොට නගරයට එකතුවූ ගොවීන් විරෝධතාවයක නිරත වී තිබේ. එම විරෝධතාවයෙන් අනතුරුව මාධ්‍ය මගින් නිවේදනය කර තිබුණේ රක්ෂිතය ගැසට් කරන බවට ලිඛිත පොරොන්දුවක් ලැබී ඇති බවයි. නමුත් එය යම්කිසි පිරිසක් විසින් සංවිධානාත්මකව ගොතන ලද්දක් බව පසුව හෙළිවිය.

කෙසේ වෙතත් කැබිනට් අනුමැතිය ලැබුණද, දිගින් දිගටම වනාන්තරය විනාශ කිරීමත්, එම කටයුතු නැවැත්වීමට යෝජිත රක්ෂිතයට අදාළ භූමිය හිමි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමත් නිසා ගොවීන් තවදුරටත් සත්‍යග්‍රහයක යෙදෙමින් සිටියි.

medialk වෙබ් අඩවිය ඇසුරිණි

 

leave a reply