Breaking News

ජාත්‍යන්තර මව් භාෂා දිනය

එය යෙදී තිබෙන්නේ හැම වර්ෂයකම පෙබරවාරි 21 දිනට. එසේ ජාත්‍යන්තර මව් භාෂා දිනයක් නම් කිරීමට මුල්වූ හේතුව පැනනගින්නේ බංග්ලා දේශයෙන්. එවකට නැගෙනහිර පාකිස්ථානය ලෙස පැවති භුමියේ ඔවුන්ගේම සංස්කෘතියක් හා භාෂාවක් පැවතුනා. ඒත් එය පාලනය කල බටහිර පාකිස්ථාන ආණ්ඩුව ඔවුන්ට නිදහසේ කටයුතු කරන්නට තිබූ අයිතිය පිළිගත්තෙ නෑ. අවසානයේ ඔවුන්ගේ මව්බස භාවිතා කිරීමද තහනම් කරනව. ඒ ඇතුලූ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ඔවුන් අරගල කරනව. විශේෂයෙන් භාෂා තහනමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් ප‍්‍රමුඛ ජනතාව දේශපාලන සහ භාෂා නිදහස වෙනුවෙන් කල උද්ඝෝෂණ වලට දැඩි මර්ධනයක් එල්ල කිරීමේ ප‍්‍රතිපලයක් ලෙස දස දහස් ගනනක ජීවිත විනාශ වුනා. එදින සිසු ජීවිත දහස් ගනනක් බිලි ගත්ත. එය විශාල කම්පනයක් ඇතිකල සිද්ධියක්. ඒ සමග උත්සන්න වූ විරෝධතාවයන් අවසන් වුනේ බංග්ලාදේශය ලෙස අද හඳුන්වන රට බිහිවීමෙන්. ඒ 1971 දෙසැම්බර් 16 දින තම නිදහස අත්පත් කර ගැනීමෙන්. එම නිදහස දිනාගැනීමේ අරගලයේදී මිලියන තුනක පමන ජනතාවකගේ ජීවිත අහිමිවී තිබුනා.

වර්ථමාන ලෝකයේත් මේ භාෂාමය වෙනස්කම් නිසා පීඩා විඳින ඝාතනයට ලක්වන ජනතාව සිටිනව. මේ මොහොතේත් ලොව පුරාම එවන් අත්දැකීම් අපට හමුවෙනව. යුක්රේන සහ රුසියන් වැසියන් මේ වෙනකොට ඒ අර්බුදයට මැදිවී සිටිනව. මෙම මව්භාෂා දිනයට දායකවී සිටින ඔවුන් පැවසුවේ මේ මොහොතේත් එය ඔවුන් අත්විඳින බවයි. යුක්රේනයට අයත්ව තිබූ යම් ප‍්‍රදේශ රුසියාව ඈඳාගෙන තිබෙන අතර සමහර රුසියන් ප‍්‍රදේශ යුක්රේනය සතුකොටගෙන තිබෙනව. දෙපාර්ෂවයම මේ වන විට එම ප‍්‍රදේශ වල වැසියන්ට තම මව් බස භාවිතා කිරීම තහනම් කරමින් සිටිනව. ඔවුන් පවසන්නේ පාසල් වල උගන්වන්නේ රුසියාවට ඈඳාගත් ප‍්‍රදේශ වල රුසියන් භාෂාව පමනක් බවයි. යුක්රේන ප‍්‍රදේශ වල තත්වයද එසේමයි. ඔවුන් මේ මොහොතේත් විඳින පීඩාව ඔබට සිතාගන්නට පුලූවන්ද අපිටත් ඒ අත්දැකීම දුරස්ත නෑ. සිංහල දෙමල භාෂා අතර තිබෙන අසමාන ලෙස සැලකීම මුල් කොට ගෙන වසර 30ක පමන යුද්ධයක පැටලී ජීවිත ලක්ෂ ගනනක් අහිමි කරගත් රටක පුරවැසියන් ලෙස මේ අවස්ථාව අපිටත් ඉතා වැදගත්. මේ සැමරීම් තුලින් බලාපොරොත්තු වන්නේ අතීත පාඩම් වලින් උගෙන වත්මන හා අනාගතය තුල එවන් ඛේදවාචකයන්ට ගොදුරු නොවී සිටීමට අප සමාජය දැනුවත් කිරීමයි. විවිධත්වයන් හා වෙනස්කම් පිළිගෙන ඒවා දරාගෙන එකිනෙකා අතර සහයෝගයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමට අප මතු පරම්පරාව හෝ පුරුදු පුහුණු කිරීමයි. බොරු ජාති ආගම් කුල බේදයන් කරපින්නාගෙන ගොස් අමු අමුවේ මිනිස් ජීවිත විනාශය කරා ගෙනයනවා වෙනුවට ඒවා ප‍්‍රතික්ෂේප කර සහජීවනයෙන් කටයුතු කිරීමට හැකි පුද්ගලයකු ගොඩ නැගීමට මෙය අවස්ථාවක් කර ගැනීමයි අපගේ අරමුණ වන්නේ. මොකද අපට තිබෙන අතීත අත්දැකීම් වලට අමතරව වත්මන අප ජීවත් වන්නේ විවිධත්වයන්ගෙන් සහ වෙනස්කම් රාශියකින් යුත් විවිධ ජාතීන් ජීවත් වන වටපිටාවක බව අප සිහියේ තබා ගත යුතුය.

ඉතාලියේ පවතින දේශපාලන වටපිටාවද මේ මොහොතේත් සංක‍්‍රමණිකයින් හා ඉතාලි ජාතිකයින් අතර වෛරය ගොඩ නගන්නට විවිධ උත්සහයන් ගනිමින් සිටින බව අප අමතක නොකල යුතුය. ඔවුන්ගේ දේශපාලන බල වුවමනාව වෙනුවෙන් එකිනෙකා අතර කෙටවීම් නිර්මාණය කරමින් තිබෙන වටපිටාවක අප සිහිබුද්ධියෙන් කටයුතු නොකලහොත් එහි ගොදුරු බවට අප පත්වන්නේ අපය. අප ජීවත් වන බ්‍රෙෂියා පලාත තුල පමනක් ජාතීන් 134ක් වාසය කරන බව සිහිතබා ගැනීමත් අප එකිනෙකා නුරුස්සන තත්වයක් නිර්මානය වුවහොත් ඇතිවිය හැකි තත්වය ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නොවන බව අප විශ්වාස කරමු. විශේෂයෙන් අපගේ මතු පරම්පරාවේ ආරක්ෂාව රැඳී තිබෙන්නේ අප කොතෙක් දුරට සමාජය සමග සහජීවනයෙන් කටයුතු කිරීම ප‍්‍රගුණ කිරීම තුල බව දෙමාපියන් ලෙස අප වටහා ගත යුතු බව අප අවධාරණය කරමු. එම නිසා අප අපගේ ප‍්‍රජාවට පමනක් සීමාවී කටයුතු කරනවා වෙනුවට මෙවන් අවස්ථා ප‍්‍රයෝජනයට ගෙන අනෙකුත් ප‍්‍රජාවන් සමඟ මුසුවී දේවල් ශෙයා කරගැනීමට කටයුතු කල යුතු බව නැවතත් අවධාරනය කරමු.


ලාංකීය දිනය පෙබරවාරි 22 සෙනසුරාදා සවස 3.00 සිට රාත‍්‍රී 8.00 දක්වා සහභාගීත්වය බංග්ලාදේශය/පාකිස්ථානය/ඉන්දියාව/ලංකාව හා මොරිසස්

අපගේ වැඩසටහන
හැඳින්වීම
ගීත නර්ථනය 1
මව්බස පිළිබඳ කෙටි හැඳින්වීමක්
ජනකවි ගායනාවක්
සිංහල කියවීමක්
නර්ථනයක්
ලංකාව පිළිබඳව කෙටි වීඩියෝවක්
තේ පැන් සංග‍්‍රහයක්
ස්තුතිය සහ අවසානය
ලාංකීය සැමය ඇරයුම් කරමු
ඉදිරිපත් කිරීම
විවර පාසල ඉතාලි ශ‍්‍රී ලංකා සහයෝගිතා සංවිධානය

leave a reply