අයවැයෙන් පසු ගොවියන්ගේ ගැටලු සඳහාට විසඳුමක් ලැබෙතැයි ගොවි ජනතාව බලාපොරොත්තු වුව ද ආණ්ඩුව සිතූ තරම් බර සාරව අදාළ ප්‍රශ්නය සලකා බලා නැති බවක් හැගෙන බව ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා පැවසිය.
ඔහු මෙම අදහස් පළ කළේ 2025 අයවැය සම්බන්ධයෙන් ගොවි අරගල ව්‍යාපාරයේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා අද (21) ගොවි අරගල ව්‍යාපාරය විසින් නුගේගොඩ කන්දෙවත්තේ දී පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී තව දුරටත් අදහස් දැක්වූ විමල් වත්තුහේවා…
ගුණාත්මක පොහොර ලබාදීම පිළිබඳ කතාවක් නෑ
‘‘මේ මාසේ 17 වෙනිදා ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ගොවි අරගල ව්‍යාපාරය විදිහට මේ අයවැය ගැන කතාකළ යුතු ප්‍රශ්න ප්‍රමාණයක් තියනවා. විශේෂයෙන් අපි දන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ගේන්න ගොවි ජනතාව විශාල කාර්‍යභාරයක් කළා. ඒ, ලොකු බලාපොරොත්තු ප්‍රමාණයක් එක්ක. අපි දන්නවා ගොවි ව්‍යාපාර පසුගිය කාලෙ ම පොහොර ප්‍රශ්නය සම්බන්ධ දැවැන්ත අරගලයක හිටියා. 2017 වසරේ ඉඳන් පත්වෙච්ච ආණ්ඩු පොහොර ලබා දීම වෙනුවට ඒ සඳහා වන මුදලක් තමයි ගොවියන්ට ලබා දුන්නේ. ඒ නිසා තමයි මුදල් වෙනුවට ගුණාත්මක පොහොර ලබා දෙන්න කියලා පහුගිය කාලෙ ම ගොවියෝ හඬ නැගුවේ. ඒ සටන ඇතුළෙ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ගොවි නායකයොත් හිටියා.
මේ අයවැය තුළවත් ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයි කියලා ගොවි ජනතාව බලාපොරොත්තු වුණත් අපිට පේන්නේ ආණ්ඩුව අදාළ බරින් ප්‍රශ්නය අරගෙන නැති බවයි. මේ අවුරුද්දේ මහ කන්නය සහ යල කන්නය සඳහා කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 14කට රුපියල් බිලියන 35යි වෙන් කරලා තියෙන්නේ. ගුණාත්මක පොහොර ලබාදීම සම්බන්ධ කතාව යට ගහලා ආණ්ඩුව සූදානම් වෙන්නෙ මේ පාරත් රුපියල් 25,000 ගානේ බෙදලා දීලා අත පිහදා ගන්න.
වගා හානි සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් නෑ
වගා හානි සඳහා ලබාදෙන වන්දිය රුපියල් ලක්ෂයක් කරන්න කියලා ඉල්ලලා වර්තමාන ආණ්ඩුවේ ගොවි සංවිධාන පහුගිය කාලෙ ම අරගලයක හිටියා. ඒ සම්බන්ධයෙන් ලොකු ම හඬ නැගීමක් කළේ වර්තමාන ආණ්ඩුවේ නියෝජ්‍ය කෘෂිකර්ම ඇමතිවරයා. අඩුම තරමේ ඒ සම්බන්ධයෙන් වන මූලික පියවරක්වත් මේ අයවැයෙන් අරගෙන නෑ. වවුනියාව දිස්ත්‍රික්කේ විතරක් අක්කර 7000ක් ගංවතුරට යට වුණා. නමුත් තවම වන්දි ලිවීමේ කටයුත්තවත් අවසන් නෑ. අක්කරායන්කුළම් බල ප්‍රදේශයේ විතරක් කුඹුරු යටවීම සම්බන්ධයෙන් පැමිණිලි කළ ගොවියෝ 78 දෙනෙක් ගෙන් 28 දෙනෙකුට විතරයි කෘෂි රක්ෂණ මණ්ඩලය අයදුම්පත්‍රය හරි දීලා තියෙන්නේ.
දැන් තව ටික දවසකින් මේ ප්‍රදේශවල ගොයම් කැපිලා ඉවර වෙනවා. ඊටපස්සේ කොහොමත් මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙන්නෙ නෑ. ආණ්ඩුව ඩිජිටල්කරණය ගැන ලොකුවට කතාකලාට තවම මේ වගා හානි සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක්වත් කරලා අවසන් වෙලා නෑ. අඩුම තරමේ තමන්ගේ වගාහානි සම්බන්ධයෙන් ගොවියෝ ඡායාරූපයක් ඉදිරිපත් කලාම ඒ සම්බන්ධයෙන්වත් අවධානයක් යොමු කරන්නෑ.
මහා මෝල්කරුවන්ට ලැබුණු වාසිය
කෘෂිකර්මාන්තයට අදාළ යන්ත්‍ර සූත්‍ර සඳහා බදු සහනයක් ලැබෙයි කියලා ගොවි ජනතාව බලාපොරොත්තු වුණත් ඒ ගැන අයවැයෙන් කිසිදු අවධානයක් යොමු වෙලා නෑ. අපි දන්නවා ගොයම් කපන යන්ත්‍රයක් ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2ක් විතර වෙනවා. ඒ ගාණට අරගෙන නඩත්තු කරමින් ගොයම් කපන්න ගියොත් වෙන්නේ නිෂ්පාදන වියදම බරපතළ විදිහට ඉහළ යන එක. ඒක නිසා තමයි ගොවියෝ ඉල්ලුවේ යන්ත්‍ර සූත්‍ර සඳහා බදු සහනයක් දෙන්න කියලා.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කෘෂිකාර්මික උපකරණ සඳහා 18%ක වැට් බද්දක් ගැහුවා. මේ වැට් බද්ද නිසා උදලු තලේ ඉඳලා, ට්‍රැක්ටරයට යොදන නට් එකක් දක්වා සියලු උපකරණවල මිල පහෙන් එකකින් වැඩි වෙලා තියෙන්නේ. අඩුම ඒ වැට් බද්ද පහත හෙළන්නවත් ආණ්ඩුව උනන්දු වෙලා නෑ. බලයට එන්න කලින් ආණ්ඩුවේ අය මැතිවරණ වේදිකාවල කයිවාරු ගැහුවා අපි ආවාම ගොවියන්ට වී සඳහා සහතික මිලක් දෙනව කියලා. නමුත් මහමෝල් කාරයන්ට වාසි වෙන විදිහට තමයි ඒ ප්‍රශ්නෙදිත් ආණ්ඩුව හැසිරුණේ. එතනිනුත් වැදුණේ ගොවියන්ගේ බඩට.
ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ‘‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළව කරුණු ගණනාවක් තිබුණා.
- සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම
-
ශක්තිමත් ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම
-
ගොවීන්ට කෘෂි යන්ත්‍රෝපකරණ සහන මිලට ලබා ගැනීම සඳහා ගොවිජන සේවා බලප්‍රදේශ මට්ටමින් සැපයුම් මධ්‍යස්ථාන ඇති කිරීම
-
කෘෂි නිෂ්පාදනයට සහ ප්‍රවාහණයට අදාළව තාක්ෂණික සහ මූල්‍ය පහසුකම් ලබා දීමට වැඩපිළිවෙළක් සැකසීම
-
ගොවි පවුල් 350කට එක් කෘෂි ව්‍යාපෘති නිලධාරියෙක් බැගින් සම්බන්ධ වෙන කාර්‍යක්ෂම සේවයක් සඳහා ව්‍යාප්ති සේවයක් ආරම්භ කිරීම
මේ ජාතික ජන බලවේග ආණ්ඩුව ඡන්දෙට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ යෝජනා.
මේ යෝජනා පෙන්නල තමයි ගොවි ජනතාවගේ ඡන්දෙ ගත්තේ. හැබැයි අද වෙනකල් මේව කරන්න ඕන කරන මූලික මැදිහත්වීමක්වත් වෙලා නෑ. මෙවරය අයවැයෙන් මේ යෝජනා ක්‍රියාත්මක කරන්න ප්‍රතිපාදන වෙන් කරලත් නෑ.
මහ මෝල් ඒකාධිකාරය ඉදිරියෙන්
අපි දැක්කා ජනාධිපතිවරයා රූපවාහිනී වැඩසටහන්වලට ඇවිල්ලා ලොකුවට කියනවා මහාපරිමාණ මෝල් එක්ක හැප්පෙන්න ප්‍රමාණවත් වී සංචිතයක් රජය සතුව තියාගන්නවා කියලා. හැබැයි ආණ්ඩුව වී මිලදී ගන්න වෙන් කරපු මුදලින් ලංකාවේ ජනතාවගේ දින හතරක දෛනික අවශ්‍යතාවය විතරයි සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ මොහොත වෙද්දි පුද්ගලික අංශය වේළපු වී කිලෝ එක ගන්නේ රුපියල් 120 – 125 අතර මුදලකට. මෙතනින් මහාපරිමාණ මෝල් හිමියෝ අත්පත් කරගන්න වී තොග ඔවුන් දැන්ම වෙළඳපොළට නිකුත් කරන්නෙ නෑ. ඒ නිසා තමයි අද වෙද්දි ෆුඩ් සිටි ඇතුළු ප්‍රධාන වෙළඳසැල්වල නාඩු සහල් හිඟයක් තියෙන්නේ. නමුත් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයෝ තමන් ගත්ත වී සහල් බවට පත්කරලා රුපියල් 220 – 225 වගේ මුදලකට වෙළෙඳපොළට එවන්න පටන් අරගෙන තියෙන්නේ.
එතකොට ලබන ඔක්තෝබර් නොවැම්බර් වෙද්දි සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයන් ළඟ තියෙන වී තොග අවසන් වෙන්න නියමිතයි. ඊටපස්සේ වී ඉතුරු වෙන්නේ මහාපරිමාණ මෝල් හිමියෝ ළඟ. ලංකාවේ මහමෝල් හිමියෝ හතරපස් දෙනා දවසකට හාල් කිලෝ ලක්ෂ 12ක් විතර වෙළෙඳපොළට එවනවා. ඔවුන් මේ නිකුත් කිරීමේ ක්‍රියාවලිය එක දවසක් නතර කලොත් එදාට ලංකාවට ම කන්න නෑ.
දැන් ඉදිරි ඔක්තෝබර් නොවැම්බර් මාස වෙද්දි ලංකාවේ සහල් වෙළෙඳපොළේ සම්පූර්ණ බලය යන්නේ මෙන්න මේ මහමෝල් හිමියෝ හතරපස් දෙනාට. අන්න ඒ ඒකාධිකාරිය එක්ක හැප්පෙන්න පුළුවන් විදිහේ වී තොග ප්‍රමාණයක් ආණ්ඩුව අත්පත් කරගන්න අයවැයෙන් අවශ්‍ය තරමට ප්‍රතිපාදන වෙන් වෙලා නෑ. මේක නිසා ලබන ඔක්තෝබර් නොවැම්බර් වලින් පස්සේ ආයෙමත් මහමෝල් හිමියෝ තමන්ට ඕන ඕන විදිහට ලංකාවේ සහල් වෙළෙඳපොළ හැසිරවීම නවත්තන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැතුව යනවා.
බාලාපොරොත්තු වුණ වෙනස ලැබේවි ද?
මේවයෙන් අපිට පේන දේ තමයි ආණ්ඩුව හැසිරෙමින් ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුමනාවන් අනුව. සාමාන්‍ය ජනතාව මත බර පටවමින් ධනකුවේර ඒකාධිකාර රකින අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ නිසා. මේ වැඩපිළිවෙළ පරාජය කරන්න නම් රටේ ජනතාවගේ විශාල මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ආණ්ඩුව සූදානම් නැත්තං, පහුගිය ආණ්ඩු වගේ ම පොරොන්දුවලට විතරක් සීමා වෙලා ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර නම් ආණ්ඩුව දිගටම කටයුතු කරන්න සූදානම් වෙන්නේ ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස ලබෙන්නෙ නෑ. ඒ වෙනස ළඟා කර ගන්න නම් ආණ්ඩුවට බලපෑම් කලහැකි විදිහේ ව්‍යුහයක් වටා සමස්ත ගොවි ජනතාව එකතු වෙන්න ඕන. අන්න ඒ සඳහා මැදිහත් වෙමු කියන යෝජනාව ගොවි අරගල ව්‍යාපාරය විදිහට අපි ගොවි ජනතාවට කරනවා.’’
උපුටා ගැනීම – ලීඩර් නිව්ස්