ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමිතිය ලැබී ඇතැයි ආණ්ඩුව නිවේදනය කර තිබේ.
ආණ්ඩුව නිකුත් කළ කැබිනට් තීරණ දැනුම් දීමේ ලේඛනයේ පහත විස්තරය සඳහන් වේ.
”ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තර්ජනයන්ට මුහුණ දීම සඳහා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පනවනු ලැබ ඇත.
පසුකාලීනව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් එම නීතියට සංශෝධන හඳුන්වා දෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් නීතියක් ප්‍රකාශ කිරීම සඳහා වන අන්තර් කාලීන පියවරක් අනුගමනය කර තිබේ. ඉන් අනතුරුව, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳව පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කර ඇත.
ඒ අනුව, එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන එකී සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර එකී පනත් කෙටුම්පත තව දුරටත් වැඩි දියුණු කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”
මේ සංශෝධන සහිතව නැවතත් ගෙන එන බව සඳහන් කර ඇත්තේ රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වූ ප්‍රති ත්‍රස්ත පනතයි. එම පනත සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතුවුවේ එය දැනට පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධී වූ නිසයි. විශේෂයෙන් පවතින ආණ්ඩුවට විරුද්ධ වන ඕනෑම කෙනෙකු ත්‍රස්තවාදියෙකු කිරීමේ හැකියාව එම පනත හරහා ලැබුණි. එසේම මුළු රටේම ජනතාව වුවත් ත්‍රස්තවාදීන් කිරීමේ හැකියව එම පනතට තිබුණි. ඊට අමතරව පොලිසියට අසීමිත බලතල දීම ඇතුළු එහි අඩංගු සියලු කරුණු සම්බන්ධයෙන් විරෝධය එල්ල විය.
ඒ අවස්ථාවේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ද මෙමෙ පනත සබන්ධයෙන් විරෝධය එල්ල කරන ලදී. නමුත් දැන් ආණ්ඩුව කියන්නේ එම පනත සංශෝධන සහිතව සම්මත කරන බවයි.