පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ සංවිධාන ගණනාවක් එක්ව පසුගිය මැතිවරණවලදී තරග කළ ජන අරගල සන්ධානය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන තවදුරටත් වර්තමාන ආණ්ඩුවත් පැවති ගමන් මගේම යමින් සිදුකරන මර්දනීය කටයුතු නවත්වන ලෙසත් එම මර්දන පනත වෙනත් පනතකින් ප්‍රතිස්ථාපනය කරනු වෙනුවට සම්පූර්ණයෙන් අහෝසි කරන ලෙසත් ආණ්ඩුවට බලපෑම් කරන මාධ්‍ය නිවේදනයක් අද නිකුත් කර තිබුණා.
පහත පලවන්නේ එම මාධ්‍ය නිවේදනයයි
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යොදාගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නවතා පාර්ලිමේන්තු බලය යොදාගනිමින් මෙම මර්දන පනත අහෝසි කළ යුතුය!
සමාජ මාධ්‍යවල සහ පුවත්පත්වල පළකරන ලද වාර්තා සහ අදහස් මත පදනම්ව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ අහෝසි කළ යුතු මර්දන පනතක් වන 1979 අංක 48 දරණ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත’ පාවිච්චි කරමින් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ පුද්ගලයන්ට අදාළ විමර්ශන සිදු කිරීමට නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දිනවල පොලීසිය කටයුතු කර තිබේ. නමුත් එම පුද්ගලයන්ට නඩු පවරනු ලැබ ඇත්තේ සාමාන්‍ය නීතිය යටතේ වන අතර එක් අයෙකු ඇප මත නිදහස් කර තිබේ. මෙය වත්මන් ආණ්ඩුව ඉතා කෙටි කාලසීමාවක් ඇතුළත ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ භාවිතා කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම සිදු කළ දෙවැනි අවස්ථාව බවට පත්ව තිබේ. මීට පෙර
ආරුගම්බේ සිදුවීමට අදාළව පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන එම පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කොට රඳවා තබාගැනීමට කටයුතු කර තිබුණි.
මෙලෙස පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිස් මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදනයකින් සහ මාධ්‍ය සාකච්ඡාවකින් කරුණු ඉදිරිපත් කළේය.
2024 නොවැම්බර් 30 වැනිදා අංක 1783/2024 ලෙස නිකුත් කරන ලද පොලීසියේ මාධ්‍ය නිවේදනයෙහි ‘එල්ටීටීඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම’ යන මාතෘකාව යටතේ නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙහි උක්ත අත්අඩංගුවට ගැනීම පිළිබඳ සඳහන් කර තිබේ.
දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්රභාකරන්ගේ රුව සහිත ඡායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්හිදී එල්ටීටීඊ සංවිධානයේ ‘මහවිරු සැමරුම්’වලදී ලබාගත් පැරණි වීඩියෝ පට මෙම වර්ෂයේ සිදු කරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගත් බව සඳහන් කර තිබේ.
‘තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆෙස්බුක් මගින් ප්‍රචාරය කිරීම’ යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වැනි වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශනය කරන බව උක්ත මාධ්‍ය නිවේදනයෙහි සඳහන්ය. ඒ අනුව මේ වන විට අදාල පුද්ගලයන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරන බව ප්‍රකාශ කර ඇතත්, අත්අඩංගුවට ගැනීම ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත’ යටතේ සිදු කළ බව ප්‍රකාශයට පත් කරන ලදී.
මීට අමතරව, 2024 දෙසැම්බර් 02 දිනැති ‘දිනමිණ’ පුවත්පතේ සඳහන් වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පිළිබඳ විමර්ශනයක් සිදු කරන බවය. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම විමර්ශනය සිදු කරන බවද වාර්තා කර ඇත.
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ තාවකාලික විධිවිධාන පනතක් ලෙස මාස හයක කාලසීමාවක් ඇතුළත අහෝසි කරන බව සඳහන් කරමින් සම්මත කරගන්නා ලද පනතක් වන අතර, එම පනත භාවිත කරමින් විශාල ජන සංහාරවලට මුලපිරූ බව සිහිපත් කළ යුතුය. මෙය දෙමළ ජනතාවට එරෙහිව, වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයෙහි දේශපාලන ක්‍රියාකාරකම්වලට එරෙහිව මෙන්ම මුස්ලිම් ජනතාවට එරෙහිවද පාවිච්චි කරන ලදී. අවසානයේ 2022 පැන නැගුණු මහජන අරගලයට එරෙහිව එම පනත පාවිච්චි කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ මෙම පනත ඉදිරිපත් වූ මොහොතේ සිටම දැඩි ලෙස ඊට විරෝධය පළ කළ බවත් වත්මන් අණ්ඩු බලය ලැබෙන තුරුම එම විරෝධය අඛණ්ඩව පවත්වාගෙන ආ බවත් මෙහිදී සිහිපත් කළ යුතුය.
ජාතික ජන බලවේගයද එම ස්ථාවරයේ සිටම කටයුතු කළ අතර මෙම පනත අහෝසි කරමින් ‘ප්‍රති ත්‍රස්ත පනත’ ගෙන එමට උත්සාහ කළ අවස්ථාවල පවා විවිධ ක්‍රියාමාර්ග හරහා පැවති පාලනයන්ට එරෙහි විය.
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අහෝසි කිරීම සම්බන්ධව ඇති ඉල්ලීම, ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි එම පනත ආණ්ඩු විසින් ‘සද්භාවයෙන් භාවිතා කළේද නැද්ද’ යන සරල තර්කයකට ඌනනය නොවන අතර ඓතිහාසිකව එම පනත තමිල්, මුස්ලිම් සහ ප්රගතිශීලි ජනතාවට සහ සංවිධානවලට විරුද්ධව එය භාවිතා කර ඇති සංදර්භයක් තුළ එන ඉල්ලීමකි. තවද පනතේ වරදවල් නිර්වචනය කර නැති අතර සියලු වරදවල් ‘දණ්ඩනීති සංග්‍රහය’, අන්තරායකර ‘ඖෂධ පාලක මණ්ඩල පනත’ වැනි හරයාත්මක නීතිවල දැනටම අන්තර්ගත වන බැවින් මෙම පනත තාක්ෂණිකව යොදාගෙන ඇත්තේ අධිකරණ සුපරීක්ෂණය නොමැතිව විධායකයට අභිමත පරිදි පුද්ගල නිදහස සීමාකිරීම සඳහාය.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් විසින් ඉතිහාසයේ සිදුකර ඇති ජාතිවාදී මැදිහත්වීම්ද, මෙම සිදුවීම් ආශ්රිත ක්‍රියකාරකම්ද අප දේශපාලන වශයෙන් පැහැදිලි ලෙසම ප්‍රතික්ෂේප කරන බව මෙහිදී තවදුරටත් අවධාරණය කරමු. සංවිධානාත්මකව ජාතිවාදය ඇවිලවීමේ උත්සාහයන් පරාජය කළ යුතුය. එහෙත් පියවරෙන් පියවර ‘ත්‍රස්තවාදය වැළැක්වීමෙ පනත’ ක්‍රියාවට නැගීම හරහා එය ජන සමාජයට සමාන්‍යකරණය කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි කරුණකි.
ඒ වෙනුවට වත්මන් පාලනය කළ යුත්තේ ලෙයින් යකඩින් මර්දනය වූ සිය ඉතිහාසය අත්දැකීම් සිහිපත් කරගනිමින් තමන් හිමිකරගෙන ඇති පාර්ලිමේන්තු බලය යොදාගනිමින් මෙම පනත හැකි විගස අහෝසි කිරීමයි. එමෙන්ම ඒ වෙනුවට තවත් ‘ප්‍රති ත්‍රස්ත පනත’ක් නොගෙනීමටද ප්‍රතිපත්තිගරුක විය යුතු බවද ප්‍රකාශ කරමු. ජාතිවාදය දලු ලා ඒ නම් එය පැරදවීමේත් එයම හේතුවක් කරගෙන රාජ්‍ය මර්දනය දලු ලා ඒ නම් එයද පැරදවීමේත් ද්විත්ව වගකීම ජනතාවට ඇති බව
අපි අවධාරණය කරමු.
ජාතික විධායක කමිටුව
ජන අරගල සන්ධානය
2024 දෙසැම්බර් 02