Breaking News

මීමුරේ ආශ්‍රිත නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාවට අවසර

නක්ල්ස් රක්‍ෂිතය ආශ‍්‍රිතව ඇති මීමුරේ ගම්මානයේ වැසියන්ට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ නකල්ස් රක්‍ෂිතයේ තෝරාගත් ස්ථානවල එනසාල් වගා කිරිමට ඉඩ ලබාදීමට තීරණය කළ බව කුඩා වැවිලි භෝග ආශ‍්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පසුගියදා ( 08දා) පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මීමුරේ ගම්මානයේ කළ චාරිකවකින් පසු රත්නපුරේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ රට තුළ එනසාල් නිෂ්පාදනය අඩුවීම නිසා මිල ඉහළ ගොස් ඇති බවයි. එයට හේතුව කලකට පෙර එසේ එනසාල් වගාකළ ප‍්‍රදේශ මේවනවිට රක්‍ෂිත බවට නම්කර තිබීම නිසා එනසාල් අස්වැන්න ලබාගැනීමට මහජනතාවට අවසර නොමැති වීමබවද ඔහු පවසා ඇත.

මීමුරේ වැසියන් ද එකී අවසරය නැතිකමින් රක්‍ෂිතවල එනසාල් වගාවන් වල නිරතවීමට නොහැකිව සිටින බව පසුගියදා ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට දැනුම් දී සහය ඉල්ලූ බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසා ඇත.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන් මීමුරේ ගමට ගියේ මේ සම්බන්‍ධව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම් දීමක් අනුව බවයි.

මීමුරේ අවට ඒ ගම්වැසියන් මීට පෙර එනසාල් වගා කළ සහ අස්වනු නෙලූ දැනට නක්ල්ස් රක්‍ෂිතයට අයත් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්‍ෂිතවලට ඇතුලූවී එනසාල් අස්වනු නෙලීමටත්, වනාන්තරයට හානි නොවන අන්දමින් එනසාල් වගාව රක්‍ෂිත තුළ සිදුකිරිමටත් එකඟත්වයකට පැමිණි බවද ජානක වක්කුඹුර රාජ්‍ය ඇමතිවරයා පවසා ඇත.

ඒ සඳහා එනසාල් පැල ලබාදීමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එකඟවූ බවද සඳහන් කර ඇත. මේ අවසරය මීමුරේ ජනතාවට මිස වෙනත් ප‍්‍රදේශවල ජනතාවට එනසාල් වගාවන් සඳහා රක්‍ෂිතවලට ඇතුලූවිමට අවසරයක් නැතිබවද වගාවන් සඳහා රක්‍ෂිතවලට ඇතුලූවන මීමුරේ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කිරිමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකසනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

බිම සිට ගස්වල අතු කැපිය හැකි යන්ත‍්‍ර මීමුරේ ගම්වැසියන් කිහිප දෙනෙකුට ලබා දුන් බවද රාජ්‍ය අමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෑතකදී වන විනාශය සිදුවූ බොහෝ තැන්වල විනාශය සිදුවන්නේ එය ජනතාවගේ අවශ්‍යතාවයක් ලෙස සඳහන් කරමිනි. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ආණ්ඩුවේ හෙන්චයියන් කිහිපදෙනෙකු තම වාසිය සඳහා මෙම විනාශයන් සිදු කිරීමයි. දහයියාගල සිදුවූ දෙය ඊට හොඳම උදාහරණයකි.
උඩවලව ජාතික වනෝද්‍යානයත් බෝගහපට්ටිය හා සොරගුණේ වනාන්තරත් යා කෙරෙන දහයියාගල අලිමංකඩ ආශ්‍රීත රක්ෂිත ප්‍රදේශය එළි පෙහෙලි කර විනාශ කරනු ලැබුවේ ගොවීන්ට ඉඩම් ලබාදෙන බව පවසමිනි.

leave a reply