ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරන දිනය සහ එහි ස්වභාවය පිළිබඳව සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය සහ දේශපාලන පක්ෂ දැඩි විවේචන එල්ල කරමින් සිටී.
අනුර කුමාර දිසානායක නුවරඑළියේ පැවති මැයි දින රැළියේදී පැවසුවේ,
“මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයින්ට නඩු 15ක් – ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් – මේ මැයි මාසෙ අධිකරණ හමුවේ තියෙනවා. අප්‍රේල් 30 ඊයෙ එකක් ඇහුවා. තීන්දුව දෙනවා කිව්වා මැයි 25. ඊයෙ ඇහුවා නඩුවක්, තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න මැයි 25. එහෙමයි කරන්නෙ. එතකොට මොකද වෙන්නෙ ? ඒගොල්ලො කලබල වෙනවා. ඒගොල්ලො කලබල වෙන්න ඕනෙ. ඇයි ? හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි එයා පස්සෙ එන බව දන්නෙ. ඉතින් ඒගොල්ලො කලබල වෙලා ආණ්ඩුව වට්ටනවා කියනවා. එහෙම වට්ටන්න බෑ.”
නිර්ලජ්ජිත වැඩක්!’ – උවිඳු කුරුකුලසූරිය
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මහජනයාට අධිකරණය ගැන ගොඩ නැගෙමින් තිබ්බ විශ්වාසය පලුදු කිරීමක්! යයි කියා සිටියි.
”ඇයි මේ සෝදන බලකායට නොතේරෙන්නෙ ජනාධිපතිකෙනෙක් එන්න තියෙන නඩු තීන්දු ගැන කියන එක වැරදියි කියන එක. අඩු ගානෙ සෙපරේෂන් ඔෆ් පවර් [separation of powers] කියල මොන්ටෙස්කු කිව්ව ඒවවත් හිතේ තියාගන්න. යහපාලනයේ එක වැදගත් කුළුණක් අනුර ජනාධිපති අවතක්සේරු කළේ ඊයෙ. ඒ එන්න තියෙන නඩු තීන්දු ගැන පුරෝකථනය කරන්න යම් දැනුමක් අනුව ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒත් ජනාධිපති ඒව ගැන කීම නිර්ලජ්ජිත වැඩක්! ඒ වගේම බලය අනිසි ලෙස යොදා ගැනීමක්! අධිකරණයට අපහාස කිරීමක්! මහජනයාට අධිකරණය ගැන ගොඩ නැගෙමින් තිබ්බ විශ්වාසය පලුදු කිරීමක්!” යයි ද උවිඳු කුරුකුලසූරිය පවසයි.
ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානයේ සභාපති, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසා ඇත්තේ නඩු තීන්දු ප්‍රකාශ කිරීම අධිකරණයේ පරම අයිතියක් බවයි. “නඩු තීන්දුවක් දෙන්නේ කුමන දිනයේද සහ එහි අන්තර්ගතය කුමක්ද යන්න පැවසීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැත. මෙය අධිකරණයට කෙලින්ම ඇඟිලි ගැසීමක්,” යැයි පවසන ඔහු, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
………………………………………………………………………………………………………………
නව ආණ්ඩුව බලයට පත්වූවේ පරණ හොරුන්ට දඬුවම් ලබාදෙන බව පවසමිනි. එම කටයුත්ත ඉටුකිරීමට ඔවුන් අපහොසත් වී තිබේ. දැන් ජනාධිපතිට සිදුව ඇත්තේ ගැලරිය පිනවන කතා කියමින් තවත් පොරොන්දු ලබදෙමින් ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට තැත්කිරීමයි. නමුත් ජනාධිපතිට අමතක වන දෙය වන්නේ ගැලරිය පිනවීමට කියන කතාවලින් තමන්ගේ වස්තරේද නැතිවිය හැකි බවයි.






