Breaking News

සෞඛ්‍ය සේවකයන් සටන්කර ජයගත හැකි බව ඔප්පුකර පෙන්වයි

දින 180 සම්පූර්ණ වූ පසු ස්ථිරවීම අයිතියක්ව පැවතියද, එම අයිතිය උදුරාගනිමින් දෛනික වැටුපක් පමණක් උරුම වී සිටි ආදේශක සෞඛ්‍ය සේවකයන් තම පත්වීම් ස්ථිර කරගැනීමේ සටන ජය ලබා තිබේ.

මෙම සෞඛ්‍ය සේවකයන්ට මධයම රජයේ රෝහල්වලට ආදේශක පත්වීම් ලබාදී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබුණත් ස්ථිර කිරීම පිළිබඳ කිසිදු සූදානමක් නොතිබුණි. සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් කාලයක පටන් එම සේවකයන් ස්ථිර කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් අරගලයක නිරත විය.

ඒ අනුව එම ඉල්ලීම් ලබාදෙන ලෙස බලකරමින් එක්බද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් 2020 වසරේ සිට 2021 වසරේ සැප්තැම්බර් දක්වා සෞඛ්‍ය ඇමතිවරයාට නොකඩවා ලිපි යැවූ බව එම සංගමය පවසයි.

තවද එක්බද්ධ සෞඛ්‍ය සේවක සංගමය සඳහන් කරන ආකාරයට මෙම ගැටලු සම්බන්ධයෙන් 2020/12/09 දින සෞඛ්‍ය ඇමතිතුමිය සමඟ සාකච්ඡුාවක්ද, 2021/12/15 දින අමාත්‍යාංශ බලධාරීන් සමගද 2021/02/23 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සංජීව මුණසිංහ ඇතුලූ නිලධාරීන් සමඟද 03/23 මුදල් අමාත්‍යංශයේ ලේකම් සමඟද සාකච්ඡා පපවත්වා තිබේ. ස්ථීර කරන ලෙස බලකරමින් අත්සන් කරන ලද පෙත්සම 2020/11/23 සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදීමට ගිය විට පොලිසිය යොදවා එය ව්‍යර්ථ කිරීමේ සිදුවීමක්ද වාර්තා විය.

ඊට අමතරව විරෝධතා පාගමන්, උද්ඝෝෂණ සේවයෙන් බැහැරවීම, අසනීප නිවාඩු වාර්තා කිරීම, සත්‍යග‍්‍රහ ආදී වෘත්තීය ක්‍රියාමාර්ග රැසක මෙම සෞඛ්‍ය සේවකයන් නිරත විය.

කෙසේවෙතත් සෞඛ්‍ය සේවකයන් පවසන්නේ තම සටන් ක්‍රියාමාර්ගය තවමත් අවසන් නොමැති බවයි. එයට හේතුව රජය විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ඇතැම් ආදේශක සෞඛ්‍ය සේවකයන් ස්ථිර කර නොතිබීමයි. එසේම ස්ථිර පත්වීම් ලබාගත්තද තමන්ගේ මූලික ඉල්ලීම් කිහිපයක්ම ලැබී නොමැති බැවින් එම ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක නිරතවෙන බව සෞඛ්‍ය සේවකයන් වැඩිදුරටත් පවසා ඇත.

 

 

leave a reply