Breaking News

online අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන ආණ්ඩුවේම අමාත්‍යංශයක් ඊට විරුද්ධ මතයක

වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉගැන්වීම අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැනි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරනුයේ පෙර පාසල් සහ ප්‍රාථමික අංශයේ දරුවන් ඉලක්ක කර ගනිමින් වර්තමානයේ ක්‍රියාත්මක වන මාර්ගගත සම්මන්ත්‍රණ සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බවයි.

අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව වයස අවුරුදු 3-5 අතර පසුවන දරුවෙකුගේ ඉගෙනුම සිදුවිය යුත්තේ ක්‍රියාකාරකම් පාදක කරගත් සහ සමාජීය අන්තර්ක්‍රියා සහිත පරිසරයක බවත් පෙන්වා දෙන අමාත්‍යාංශය සඳහන් කරනුයේ තිරයක් දෙස බලා සිටිමින් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සමාජීය කුසලතා වර්ධනය අඩාල වීම, අවධානය රඳවා ගැනීමේ හැකියාව හීන කිරීම සහ නිර්මාණාත්මක චින්තනයටද බාධා පමුණුවන බවයි.

ඒ අනුව රජයේ සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ළමා සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව පූර්ව ළමාවිය සංවර්ධනයේදී දරුවා සජීවීව පරිසරය සමග ගනුදෙනු කළ යුතු බවත් කුඩා දරුවන් අධික ලෙස තාක්ෂණික මෙවලම්වලට නිරාවරණය කිරීම ඔවුන්ගේ මානසික හා කායික සෞඛ්‍යයට විශේෂයෙන් මොළයේ වර්ධනයට අහිතකර බැවින් එවැනි වයස් කාණ්ඩ සඳහා මාර්ගගත පන්ති පැවැත්වීම අනුමත නොකරන බවද අමාත්‍යාංශය සඳහන් කර ඇත.

වාණිජ පරමාර්ථයෙන් සංවිධානය කරනු ලබන මෙවැනි සම්මන්ත්‍රණ මගින් දරුවාගේ අධ්‍යාපනික ප්‍රමිතිය ඉහළ නොයන බවත් ඔවුන්ගේ ස්වභාවික වර්ධනයට එය බාධාවක් බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් වෙත දැනුම්දීමක්ද සිදුකර තිබේ.

ඒ හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව සලකා බලා මෙවැනි ක්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් වැලකී සිටින ලෙසත් ඉල්ලා සිටින අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දරුවෙකුගේ හොඳම ගුරුවරයා පරිසරය සහ සජීවි අත්දැකීම් මිස ඩිජිටල් තිරයක් නොවන බවයි.

සාමන්‍යයෙන් අනෙකුත් සංවර්ධිත යයි සම්මත යුරෝපානු රටවල් බොහොමයක් දරුවන් සඳහා මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම සහ ඩිජිටල් තිර භාවිතය තහනම් කරමින් සිටින්නේ කාලයක සිටයි. එහිදී එම රටවල් වයස සීමාව ලෙස වයස අවුරුදු 16ට අඩු 18ට අඩු වැනි වයස් සීමාවන් දක්වා ගොස් තිබේ. නමුත් කාන්තා කටයුතු අමාත්‍යංශය එවනු ඉහල වයසක් සඳහා සීමා පැනවීමක් සිදු නොකරන්නේ තමන්ගේ ආණ්ඩුවේම අධ්‍යාපන අමත්‍යංශය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ප්‍රවර්ධනය කරන නිසා විය යුතුය.

leave a reply