Breaking News

“අපි තනියම හිරේ යන්නේ නෑ” ග්‍රාම නිළධාරීන් කියයි…

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදාවලට මුහුණ දුන් පවුල් සඳහා සහන සැලසීමේදී රජයේ නිළධාරීන්ගෙන් සිදු වන ප්‍රමාදයන් සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සමාජයේ විශාල කතා බහක් ඇති වී තිබේ. මේ කාරණයේදී සෘජුවම ජනතාව සමග අභිමුඛ වන ශ්‍රී ලංකා ජාතික ග්‍රාම නිළධාරී සංගමය විසින් සිය අදහස් පළ කර තිබුණා.

දැනට ලංකාවේ තිබෙන ග්‍රාම නිළධාරී වසම් 1422 න් දැනට 4000 කට වැඩි ප්‍රමාණයක පුරප්පාඩු පවතින බව ශ්‍රී ලංකා ජාතික ග්‍රාම නිළධාරී සංගමයේ ලේකම් (නීති හා අධ්‍යාපන) ධර්මපාල කොටුවේවත්ත මහතා පවසයි. අද පැවති රුපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ තත්වය හමුවේ සමහර නිළධාරීන් ග්‍රාම නිළධාරී වසම් 3ක 4ක පවා වැඩ කරන බවත් යම් නිළධාරියෙකු කිසියම් හේතුවකින් සේවයට වාර්තා කිරීමට නොහැකි වුවහොත් ඒ වසමත් යාබද නිළධාරියෙක් ආවරණය කළ යුතු බවත් ඔහු සඳහන් කළා. ඔහු සඳහන් කර සිටියේ මෙවැනි ආපදා තත්ත්වයකදී මෙම පුරප්පාඩු විශාල ගැටළුවක් බවයි.

“මේ පශ්චාත් ආපදා කළමනාකරණය සම්බන්ධව නිකුත් කරන චක්‍රලේඛ වල යම් යම් ගැටළු තිබෙනවා… මේ ගැටළු විවිධයි… අපිට සමහර උපදෙස් එන්නේ Whats App හරහා, ඒ වගේම දුරකථන හරහා… කවුරු උපදෙස් දුන්නත් මේ විදිහට කරන්න කියලා මට අපේ සහෝදරත්වයට කියන්න තියෙන්නේ, ඒ සියල්ල Screenshot එකක් ගහල සේව් කරලා තියා ගන්න… නැත්නම් එන call recording එකක් තියා ගන්න. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා…

“යම් කිසි අවස්ථාවක නිකුත් කරලා තියෙන චක්‍රලේඛ වල තියෙන අඩුපාඩුකම් නිසා කිසිම නිළධාරියෙකුට අපහසුතාවයකට ලක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ… එහෙම කවුරුහරි කරනවා නම් අපිට ඒ අයට කියන්න තියෙන්නේ, අපි බය නැතුව කියනවා අපේ සාමාජිකයන්ට කිසිම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නෑ.. ඒ වගේම යම් කිසි කෙනෙක් වැරදි උපදෙස් ලබා දෙන්නේ නම් ඒ අයටද කියන්න තියෙන්නේ, කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ… යනුවෙන් ශ්‍රී ලංකා ජාතික ග්‍රාම නිළධාරී සංගමයේ ලේකම් (නීති හා අධ්‍යාපන) ධර්මපාල කොටුවේවත්ත පවසා සිටියා.

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් සහ ගණකාධිකාරීවරුන්ගේ සංගමයෙන් ද පශ්චාත් ආපදා කළමනාකරණ චක්‍රලේඛ වල තිබෙන ගැටළු සහ අඩුපාඩු සම්බන්ධයෙන් ලිපි නිකුත් කර තිබූ බව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ තම ඉහළ නිළධාරීන්ටත් මෙවැනි ගැටළු පවතින බවයි. ඒ නිසා සමස්ත ග්‍රමා නිළධාරීන්ට මේ කාරණයේදී මුහුණ දීමට සිදුවන ගැටලුවකදී තම සංගමය පෙනී සිටින බවයි.

ග්‍රාම නිලධාරීන් ඇති විශාල වෙහෙසක් දරාගෙන සිදු කරන්නේ පොදු සේවයක් බවත් සහ වගකීමක් බවත්, ග්‍රාම නිළධාරීන්ට මුහුණ දීමට සිදු වී ති මෙම ගැටළු මේ ආකාරයෙන්ම ඉදිරියට පවතින්නේ නම් තම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට සුදානම් බව ධර්මපාල කොටුවේවත්ත මහතා වැඩි දුරටත් පවසා සිටියා.

උපුටා ගැනීම whatnews

leave a reply