අලුතින් ආනයනය කරන ලද වාහන 2,000 කට වැඩි ප්‍රමාණයක් මාස දෙකකට වැඩි කාලයක් කොළඹ සහ හම්බන්තොට වරායන්හි සිරවී ඇති අතර, එමඟින් අමතර නැව්ගත කිරීම් ගොඩබෑම සඳහා බරපතල සැපයුම් අභියෝග ඇති වී ඇති බව ඩේලි මිරර් පුවත්පත පවසයි.
මෑතකදී හම්බන්තොට වරායට පැමිණි නව වාහන තොගයක් රැගත් නෞකාවක් ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දින කිහිපයක් නැංගුරම් ලා සිටීමට සිදු වූ බව වාර්තා වේ.
රේගු ආරංචි මාර්ගවලට අනුව, තෙවන පාර්ශවීය රටවල් හරහා විවෘත කරන ලද බැංකු ණයවර ලිපි (LC) භාවිතයෙන් ආනයනය කරන ලද ජපන් වාහන නිදහස් නොකිරීම හේතුවෙන් මෙම වාහන 1,000 කට වැඩි ප්‍රමාණයක් රඳවාගෙන ඇත. මැයි 27 වන දින මතු වූ මෙම ගැටළුව තවමත් විසඳී නොමැති අතර, රජය පැහැදිලි ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයක් ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ආනයනකරුවන් කිහිප දෙනෙකුට නීතිමය පියවර ගැනීමට හේතු වී තිබේ.
මෙම වාහන සඳහා ප්‍රමාද ගාස්තු ඉහළ යමින් තිබෙන බවද පැවසේ. තනි වාහනයක් සඳහා ගාස්තු රු. 500,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.
වාහන ආනයනකරුවන් අනතුරු අඟවන්නේ සමුච්චිත ප්‍රමාද ගාස්තු මුළු ආනයන පිරිවැයට එකතු වීමට ඉඩ ඇති බවත්, එමඟින් වාහන නිකුත් කළ පසු දේශීය වෙළඳපොලේ වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවත්ය.
කෙසේවෙතත් මීට පෙර වාර්තා වූවේ මෙම වාහන තොගය නිදහස් නොකිරීමට හේතුව ලෙස සඳහන් වූවේ වාහන ධාරිතාව අඩුවෙන් සඳහන් කරමින් බදු වංචාවක් කරේද යන සැකය මතුවීමයි.
මෙම චෝදනා එල්ල වූ වාහන තොගය අතරට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් ආනයනය කරන ලද BYD ඉලෙක්ට්‍රික් කාර් ද ඇතුලත් බව වාර්තා විය.
මේ අනුව වරායන්වල පවතින ඉඩ ප්‍රශ්නය විසඳීම සඳහා යයි කියමින් මෙම වාහන නිදහස් කිරීම හදිසි කිරීම ගැන ද සැකයක් මතුවේ.