Breaking News

“ඉතිං මං නඩු කියන්නෑ” – සංජිවනි රෑපසිංහ

පැමිණ සිටින සියලූ දෙනාගෙන්ම අවසර පතන අතර මෙවැනි සුන්දර අවස්ථාවකට මා වැනි ගොරහැ ගැහැණියකට ආරාධනා කිරීම පිළිබ`ද මුලින්ම අසන්තිට මම මගේ ස්තුතිය පුදකරනවා.

“ඉතිං මං නඩු කියන්නෑ” මං ආරම්භ කරන්නේ ඇගේ කුඩා පෙරවදනෙන්. ඇය මම පිළිබඳ කරන හෙළිදරව්වෙන් මම මේ කතාබහ ආරම්භ කරන්න කැමතියි. ඇය කියනවා ‘‘ආරම්භයක් හෝ අවසානයක් නොමැති කාල අවකාශයක මම යනු අංශුවක්’’ බව. මෙය ඉතා ප‍්‍රබුද්ධ සිතිවිල්ලක්. මම යනු සියල්ලම කියා සිතන ලෝකයක ඇය පවසන්නේ මම යනු අංශුවක් බවයි. ඇගේ ලෝක දෘෂ්ටිය වඩා පළල් යැයි මම නිගමනය කරන්නේ මේ පළමු වැකියෙන්මයි. මං මේක සන්සන්දනය කරන්න කැමතියි බටහිර ලෝක දෘෂ්ටීන් සමඟ සහ පෙරදිග ලෝක දෘෂ්ටීන් සමඟ. අඩුම තරමින් 18වන සියවසේ විතර වෙනකල්වත් බටහිර මිනිස්සු හිතන් හිටියේ තමන් වෙනුවෙන් ලෝකය මැව්වා කියලා. ලෝකයේ බලාධිකාරය තියෙන්නේ මිනිසා අතේ කියලා. එහෙම හිතපු මිනිස්සුන්ට කෙලවුණාමයි මිනිස්සු හිතන්න පටන් ගත්තේ මේ විශ්වයේ අපි අංශුවක් කියලා. නමුත් පෙරදිග ලෝක දෘෂ්ටිය ඊට වෙනස්. ස්වභාව දහමත් සමඟ එකට බැඳුණු ලෝක දැක්මක් පැරණි චීනයේ එහෙම තිබ්බේ. ඒ පැරණි අතිශය ප‍්‍රබුද්ධ ලෝක දෘෂ්ටිය අසන්ති සිය කවිවලින් රැගෙන එනවා.

අනික් මං ආසම දෙය නම් පොතේ නමයි. “ඉතිං මං නඩු කියන්නෑ”. සරත් සර් මෙතන ඉන්නවා මගේ නඩුව ඉවරයි ලියපු. නඩු කීමත් නඩු නොකීමත් අතර විශාල පරතරයක් ඇති අතර ඇතැම් විට ඒ දෙකම ඇත්තේ එකම තැන. සමහර දේවල් තියනවා අරගල කරලා දිනා ගත යුතු. තවත් සමහර දේවල් තියනවා නිහඩව සිටිය යුතු. ඇතැම් විට සොබා දහමේ රීතියට අනුගත වන්නට කිවිඳිය වඩා කැමැත්තක් දරනවා.

සොබා දහම සමඟ අමනාප නොවන්න කියන කවිය එයට උදාහරණයක්.

‘‘පිපී හිනැහී තුරු මුදුන්වල
පෙන්නුවත් ඈ ඇගේ ආලය
තිබුණෙ නෑ තුරුවලට ඒ ගැන
හිතන්නට කිසි දිනක කාලය
පරවෙලා ගස මුලම ප‍්‍රාණය
මුදා හැරියත් මලක ප්‍රේරමය
හැදිනුවත් ගස හැම උදේකම
අලූත් මලකට කරයි ප්‍රේරමය’’

මෙය ඇය කියන්නේ යම්කිසි තරහකින් වෛරයකින් හෝ දුකකින්මත් නෙමෙයි. එතන තියන හඟිම උපේක්ෂාවක්. ඇය සොබා දහමේ රීතිය දන්නවා. අවබෝධ කරගෙන ඉන්නවා වගේ හඟිමක් අපිට එනවා. ප‍්‍රබුද්ධත්වය ඇත්තේ එතනයි. ස්වභාව නීතිය අවබෝධ කර ගැනීම තුළ. දේවල්වලට වැඞී යාමට හා මල් ඵල හට ගැනීමට කාලයක් ඇතුවාක් මෙන්ම බිදී යාමටත් බිම පතිතවීමටත් කාලයක් ඇති බව කිවිඳිය හඳුනනවා යැයි අපට හැගෙනවා. ඇයගේ කල්පනා තුළ ගැඹුරු උපේක්ෂාවක්, ස්වභාවය සමඟ ඒකාත්මීය වීමක් දක්නට ලැබෙනවා. මේ කවියත් ඒ වගේ .

‘‘නෝකකාඩු
මැසිවිලි
අදෝනා
කිසිත් නෑසුණු ඉසව්වෙන්
මලක්
නික්මී
ගිහින්
තිබුණා
ලොවක් අතහැර ඇසිල්ලෙන්’’

මේ තුළ තියෙන්නෙත් ඇගේ මම ඉහත කී සොබා දහමට සවන් දුන් බොහොම අහිංසක හිතක සිතිවිලි. රණ්ඩු කරපු නැති, අරගල කරපු නැති ස්වභාව දහමට අවනතව බලා සිටි ගැහැණියකගේ හෘද ස්පන්දනය මම මේ තුළින් දකිනවා. ඇය ස්වභාව දහමේ දේවල් දකින්නේ ඒවා එහෙම තිබ්බට කැඩෙන්න බිදෙන්න වැටෙන්න මියෙන්න නියමිත දේවල් විදිහට. ඇය ජීවිතයේ තරව අල්ලා ගත් කිසි දෙයක් නැති තරම්. වෙන් වන අයට නිදහසේ යන්න ඇය ඉඩ දෙනාවා. කැඩෙන බිඳෙන දේවල් ඒවා එහෙමයි කියලා හිත හදාගන්නවා.
ඉන්පසුව මම කැමතියි ඇගේ පැරණි මළවුන් තරුණ මළවුන්ට ඉඩ දිය යුතුයි කියන කවිය ගන්න.

‘‘අසුබ දිනයක මනාලිය වී
වසර දහයක් ගෙවී අවසන
සොහොන් කොත අග අලූත් නමකින්
රනින් ආලේපයක් දිස් විණ

කාටවත් දොස් කියා කුමටද
බද්ද අවසන් වෙලා දැක්කම
පැරණි මලවුන් කල් ඉකුත් වී
තරුණ මළවුන් එහි නිදියගෙන

තනා මළවුන් නමින් ප්‍රේමයේ
නිරර්තක ස්මාර බුහුමන්
වැළලූවා ගැහැණුන් බලෙන්
රමණීය රමණය ඇගෙන්

වරක් ගැලවී ගියපු ප්‍රේරමය
යළිත් හමුවිය අහම්බෙන්
ඉතිං ප්‍රේරමය මේක අහපං
‘‘පැරණි මලවුන් තරුණයින් හට
දිය යුතුයි ඉඩ සුසානෙත්’’

මෙම කවිය තුළ තියෙන්නෙත් ඇගේ ඉහත කී දෘෂ්ටිවාදයමයි. මැසිවිලි නොනගා මලක් පරවී තිබුණා කියන දෘෂ්ටිවාදයමයි. එනම් මැරිලා තමයි කොහොමත් ජීවිතේ හිටියේ. දැන් වළදාලා. අලූත් සොහොන් රනින් ලියවෙනවා. ඒ නිසා පැරණි මළවුන් අලූත් මළවුන්ට ඉඩ දිය යුතුයි කියන අදහස. මළවුන්ට පවා ඒ ස්වභාව දහමේ නීතිය වලංගුයි. කනත්තක වුවත් අලූත් මලවුන්ට එනවිට පැරණි මලවුන් දිරා පස් වී සිටිය යුතුයි. අලූත් මලවුන්ට ඉඩ දිය යුතුයි.

ඒ කිසිම තැනක ඇගේ අමනාපයක් හෝ තරහක් නැහැ. ඒකයි එහි අපි තේරුම් ගත යුතු කාරණය වන්නේ. ඔයා යන්න යන තැනක නිදහසේ ඉන්න. පරවෙලා යන එක මගේ උරුමය නම් මං පරවෙලා යන්නම් කියන බොහොම අහිංසක අදහසක් මෙහි තියෙන්නේ.

අර දඩයම චිත‍්‍රපටයට වස්තු බීජ වූ කතා පුවතේ දී එනම් ඇඩිලින් විතාරණ නඩුවේදී ඇය සිය පෙම්වතා අත නොහැර යනවා. ඒ අල්ලා ගැනීම තුළ තමා මහා ව්‍යසනයක් වන්නේ. යන කෙනාට එහෙම යන්න දිය හැකි ද කියලා ප‍්‍රශ්නයක් එනවා. දරුවෝ ඉන්නකොට. ඒක ගැහැණියක තනිව දරා ගත හැකිද කියන ප‍්‍රශ්නය එනවා. ඒක සාධාරණ ප‍්‍රශ්නයක් අද වැනි කාන්තා දිනයක නැගිය යුතු. ඒත් අසන්ති එහෙම හැපෙන්න ලැහැස්ති නැති ගැහැණියක් කියලා ඇය පෙන්වනවා. ඇය නිහඩයි. ඇය අහිංසකයි. මලක් පරවෙලා යනවා. තව මල් පිපෙනවා කියලා ඇය දකිනවා. අතහැරීම තුළ ප‍්‍රශ්න හුගාක් විසදෙන බව ඇය නැවත නැවත අපිට කියනවා.

මේක බොහොම විදග්ධ චින්තනයක්. එයින් මා කියන්නේ නැහැ අරගලය නරකයි කියලා. අරගල කළයුතු තැන ත් නිහඩව බලා සියටි යුතු තැනත් අපි හරියාකරව අවබෝධ කර ගත යුතු වෙනවා. ඒක අසන්ති කිවිදිය හරිම ලස්සනට අවබෝධ කරගෙන ඉන්නවා කියලා පේනවා මෙම කවිවලින්.

එකම දෘෂ්ටිවාදයක් ඇය මෙම කවි පොත පුරා අරගෙන යනවා විවිධ ජීවන අත්දැකීම්තුළින්. මේ කවියද එවැනි කවියක්.
අහිමි නොවුනේ අපට ජීවිතය විතරක්ය

කොයි තරම් කාලයක් වෙන්වෙලා ගෙවුනා ද
අහිමි නොවුණේ අපිට ජීවිතය විතරක්ය
මෙහෙට නම් මේ ටිකේ
පෑවිල්ල හොදටෝම

හිම වැස්ස වැටෙනවැති
එහෙට නම් හැමදාම

වායු සමනය මැදත්
දහඩියෙන් මුරගාන </strong>
<strong>සුව
දටයි මම කැමති

ඔයයි කීවේ එහෙම

මට වගේ මතක ඇති
ඔයාටත් ඒ වචන
’‘දන්නවද රත්තරන්,
ඔය හුස්ම තමයි මගේ
සීතලම සැනසීම’’

හිමි වීම් හිමි වුණේ ලොවේ කොතනද කාට
වෙනස් කෙරුමට හැකි ද සොබා දහමේ පාට’’

මෙහිදී ද ඇය කියන්නේ අවාසනාවන්ත ලෙස වෙන්ව ගිය පෙම්වතුන් යුවලකගේ පසුකාලීන මතකයන්. තාමත් ඇයට සිහිවෙනවා ඔහු කී දේ. ඇගේ හදේ තාම උණුසුම් ඔහු ගැන මතකය. එහෙත් සොබා දහමට අනුව ඔහු ත් වෙන්ව ගිහින්. ඇය දරා ගන්නා විදිහ හරිම අපූරුයි. ඇය කියනවා හිමි වීම් හිමි වුණේ ලොවේ කොතනක කාට, වෙනස් කෙරුමට හැකි ද සොබා දහමේ පාට කියලා.

මේ හැම කිවියකට යටි පෙළ උඩු පෙළට එබිකම් කරනවා ඇගේ දෘෂ්ටිවාදය අරගෙන.

සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ කියන දෘෂ්ටියමයි මෙය.

සම්පූර්ණ කවි පොත තුළම ඇත්තේ ඇගේ ඒ දෘෂ්ටිවාදයම වේ. මෙම කව ද එයට උදාහරණයකි.

‘‘තුරු බෙඳී සවිය ළඟ ලතාවෝ එතුනාට
බිම දිගේ දුවන වැල් මොනතරම් තිබුණා ද
තැලෙන බව දැන දැනත් උඳුපියලිය පාවඩ
ආදරය ඉල්ලලා ඉතිං නඩු කීවාද? ’’

නඩු කියලා ආදරේ ඉල්ලන්න බැරි බව ඇය කියයි. ආදරේ බලෙන් ගන්නට බැරි බව ඇය කියයි. උස් ගස් මත වෙළී වැඩෙන ගස් මෙන්ම බිම දිගේ දුවන වැල් ද ඇත. ඒවාත් උඳුපියලියත් තැලෙන බව සිතා නඩු කීවේ නැත. එසේම ඇය ද අහිමි දේ අහිමි බව සිතා දුක කවියෙන් කියනවා මිස කිසිවෙකුට වරද නොපටවයි. දොස් නොකියයි.
ඇය මෙම කවියෙන් මෙසේ කියයි.

‘‘නොකියාම හැර යාම
නොපැතුව මරණයකි
කියා මඟහැර යාම
හදපුරා සීරුමකි

නොතේරෙන සේ හිඳිමි
කවියකම දුක කියමි
මගෙ සතුට මඟහරිමි
නුඹෙ සතුට ළඟ නිවෙමි’’

ඇය වේදනාව කවි තුළ සඟවයි. මෙය කලාවේ ඇති භාව විශෝධනය නම් එක් අවස්ථාවකි. හැර යාම සහ අහිමි වීම මිනිසා පෙළන විට මිනිසුන් තමන්ගේ චර්යා දිශානතිය තමාට හානි කර ගැනීමටත් අනුන්ට හානි කිරීමටත් පොළඹවයි. නමුත් අසන්ති යෝජනා කරන්නේ ඒ දෙකම නොව කවියක් ගියා දුක කීමයි. කලාව එසේ රිදුණු තැලූණු හිත්වලින් ද පහළ වී ඇත. එබඳු මානසික ව්‍යාධි කලාව තුළින් විශෝධනය කිරීම වඩා උසස් වන්නේය. ඇය එය සමාජයට දෙන දායාදයකි.

තවත් බොහෝ කතා කළ යුතු කවි පැවතිය ද මම මගේ ප‍්‍රධාන තර්කය වූ කිවිඳිය ගේ ප‍්‍රබුද්ධ දෘෂ්ටිවාදය සමඟ ඇගේ කවි ගැලපීමටයි. ස්වභාව දහම සමඟ ගමන් කරන ඇගේ සිතිවිලි ඇගේ කවිමඟ පෝෂණය කරයි. ඉතිං අසන්ති ඔබට සුබ අනාගතයක් පතමින් මම නිහඬ වෙමි. ස්තුතියි.

 

leave a reply