ශ්‍රී ලංකාවේ සිටි අප්‍රේල් 4-5 දිනවල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට රජය හැකි සෑම දෙයක්ම කළේය. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර සඳහා ප්‍රසිද්ධ වන අතර රජයේ ආගන්තුක සත්කාරය අපේක්ෂාවන් ඉක්මවා ගියේය. ගුවන්තොටුපොළේදී අගමැති පිළිගැනීමට දරුවන් සහ කැබිනට් අමාත්‍යවරුන් හයදෙනෙකු සිටිනු දක්නට ලැබිණි. අගමැති මෝදිව දීප්තිමත් වචනවලින් වර්ණනා කරන ලද විශාල බැනරයක් එහි විය. මිත්‍රත්වය සහ සහයෝගීතාව අගය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අගමැති මෝදිට රටේ ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ද ප්‍රදානය කළේය. වසර තුනකට පෙර ශ්‍රී ලංකාව ආර්ථික ව්‍යසනයෙන් බේරාගැනීම සඳහා ඔහු යටතේ වූ ඉන්දීය රජය ඉටුකළ කාර්යභාරය වෙනුවෙන් එම සම්මානය ඔහුට ලබාදිය යුතුව තිබිණි. එම කටයුත්ත හුදෙක් මානුෂීය ක්‍රියාවක් පමණක් නොව, එය අගමැති මෝදිගේ විදේශ ප්‍රතිපත්තියේ මූලික ස්ථම්භයක් වන ‘පළමුව අසල්වැසියා’ යන දර්ශනය තුළ මුල් බැසගත් කලාපීය නායකත්වයේ දක්ෂ ප්‍රකාශනයක් ද විය.
විශේෂයෙන් කලාපීය අසල්වැසියන් ආර්ථික හෝ දේශපාලන පීඩනය යටතේ පසුබෑමට ලක්වන විට, දකුණු ආසියාවේ ස්ථාවරත්වය ඇති කරන චරිතයක් ලෙස ඉන්දියාවට ප්‍රධාන කාර්යභාරයක් පැවරී ඇත. පාකිස්ථානය සහ බංග්ලාදේශය සමඟ ඇති සබඳතාවලින් පෙනෙන පරිදි, මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ කාර්යභාරය තවමත් එහි සම්පූර්ණ විභවයට ළඟා වී නොමැත. එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල, ඉන්දියාව සැබවින්ම විශිෂ්ට ලෙස කටයුතු කර තිබේ. මෙවර අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ආර්ථික හා දේශපාලනික වශයෙන් ඔබ්බට සංකේතාත්මක බරක් දැරීය. ජනාධිපති අනුර දිසානායක සිය පිළිගැනීමේ කතාවේදී සඳහන් කළේ, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු විදේශීය නායකයා අගමැති මෝදි බවයි. සංචාරයට පැමිණි පළමු නායකයා වීමෙන් ඔහු අලුතින් තේරී පත් වූ ශ්‍රී ලාංකික නායකයන්ට අන්තර්ජාතික වැදගත්කමක් ලබාදුන්නේය. මෙම මුල් අභිනය මඟින් ජනාධිපති දිසානායකගේ පාලනයට ඉන්දියාවේ නිහඬ අනුමැතිය ප්‍රකාශ කෙරුණු අතර, එය සාම්ප්‍රදායික ප්‍රභූ පසුබිමක් නොමැති නායකයකුට විශේෂයෙන් වටිනාකමක් ලබාදිය හැකි අනුමැතියකි. ජනාධිපතිවරයා ඔවුන්ගේ පොදු දේශපාලන සම්භවය පිළිබඳව ද සඳහන් කළේය. ඔවුන් දෙදෙනාම මුලින් දේශපාලනයට පැමිණියේ සාම්ප්‍රදායික පාලක පන්තියට පිටස්තරයන් ලෙස වන අතර, එමගින් පුළුල් දෘෂ්ටිවාදාත්මක අනුකූලතාවක් පිළිබඳ ඉඟියක් ලබාදෙමින් ඔවුන් අතර පාලමක් නිර්මාණය කර තිබේ.
ජනාධිපති දිසානායක විසින් ‘මිත්‍ර විභූෂණ’ පදක්කම මුලින්ම අගමැති මෝදිට පෙන්වූ විට සහ පසුව එය පිටතට ගෙන ඉන්දීය නායකයාගේ ගෙළ වටා පැළඳවූ විට ඔහුගේ මානුෂීය ස්පර්ශය පෙන්නුම් කළේය. නායකයන් දෙදෙනා තම දෑත් එකට බැඳගෙන ඉහළට ඔසවන විට, ඔවුන්ගේ සුහදතාවයේ සහ සහයෝගීතාවයේ පණිවිඩයක් දැකගත හැකිවිය. එය ජාතික නායකත්ව ගමන ආරම්භ කළ නව නායකයකු සමඟ දිගු කාලීන වාර්තාවක් ඇති වැඩිහිටි රාජ්‍ය නායකයකුගේ පණිවිඩයක් විය. සිත්ගන්නා කරුණ නම්, සම්මානය ප්‍රදානය කරන ලද දිනය අප්‍රේල් 5 වැනි දින 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආරම්භ වී වසර 54 ක් ගතව තිබීමයි. නැවතත් 1987 දී එහි පුනරුච්චාරණයක් සිදුවූ අතර, එහි ඉන්දියානු විරෝධී දෘෂ්ටිවාදය එහි ප්‍රධාන ලක්ෂණයක් විය. මෙම සම්මානය ලබාදීම ඔස්සේ ජනාධිපති දිසානායක අවධාරණය කළේ, තමා තම දේශපාලන මූලයන් ඉක්මවා ජාතිකත්වයෙන් ඔබ්බට අන්තර්ජාතික තලය වෙත ගිය සැබෑ ශ්‍රී ලාංකික නායකයකු බවයි.
විශ්වාසය සොයාගැනීම
සංචාරය අතරතුර අත්සන් කරන ලද ගිවිසුම් හතෙන් හයක්ම ආර්ථික සහයෝගීතාව කෙරෙහි අවධානය යොමුකළේය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ ඩිජිටල් පාලන වේදිකාවල සිට වැවිලි අංශයේ යටිතල පහසුකම් ආයෝජන දක්වා පරාසයක මේවා විහිදේ. ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාගෙන් පැවත එන්නන් සඳහා නිවාස ඉදිකිරීම සහ ආගමික ස්ථාන 5000ක සූර්ය බලශක්ති ඒකක ස්ථාපනය කිරීම පිළිබඳ ගිවිසුම් විශේෂයෙන් කැපීපෙනිණි. මෙම ව්‍යාපෘති දෙකෙහිම අනන්‍යතා දේශපාලනයට ප්‍රවේශමෙන් සංවේදී වන අංග සමඟ සංවර්ධන ආධාර මිශ්‍ර කර තිබේ. මෙම මුලපිරීම් ඉන්දියාවේ සංවර්ධන රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගික භාවිතය සමඟ සමපාත වේ. ණය මත යැපීම් ඇතිකිරීම සඳහා නිතර විවේචනයට ලක්ව ඇති ආධාර සහ යටිතල පහසුකම් සඳහා චීනයේ ප්‍රවේශය මෙන් නොව, ඉන්දියාවේ ආකෘතිය හවුල්කාරිත්වය, සංස්කෘතික බැඳීම සහ දිගුකාලීන ධාරිතා ගොඩනැගීම ප්‍රදර්ශනය කරයි.
හත්වැනි ගිවිසුම ආරක්ෂක සහ ජාතික ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් වන අතර, එය දෙරටටම දිගු කලක් තිස්සේ කනස්සල්ලට කරුණක් වී ඇත. හත්වැනි ගිවිසුම ඇතුළුව කිසිදු ගිවිසුමක් දෙරට රජයට මට්ටමින් පිටත සාකච්ඡා කර නැත. එහෙත් අගමැති මෝදිගේ සංචාරයේදී අනෙක් ගිවිසුම් හයේ අන්තර්ගතය පිළිබඳව යම් සාරාංශයක් ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලදී. ආර්ථික ගිවිසුම් සම්බන්ධ ගැටළු කිහිපයක් බාහිරින් දැකගත හැකි අතර, ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ පෞද්ගලික තොරතුරු වෙත ඉන්දියාවට ප්‍රවේශ වීමේ හැකියාව වැනි ගැටළු මතුකරයි. කෙසේවෙතත්, ආරක්ෂක ගිවිසුම ගැන හෙළිදරව් කර ඇත්තේ තොරතුරු අල්ප වශයෙනි. එය රටවල් දෙකෙහි අවශ්‍යතා සපුරාලන තාක් දුරට ඔවුන් අතර විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරනු ඇති අතර, එය අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙනසක් සඳහා සංවාදයක් සිදුවිය හැකි පදනම වේ.
අතීතයේ දී දෙරට අතර විශ්වාස පිළිබඳ ගැටළුවක් පැවැතිණි. එල්ටීටීඊය සහ අනෙකුත් දෙමළ සටන්කාමී සංවිධාන සමඟ යුද්ධය පැවැති සමයේදී, රටේ සමහර කොටස් එල්ටීටීඊය විසින් අත්පත් කරගෙන පාලනය කරන ලද අතර, රටේ භෞමික අඛණ්ඩතාව අවදානමට ලක්ව තිබිණි. රට මුහුණදුන් භයානක ආරක්ෂක තත්ත්වය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දැනුවත්ව සිටියේය. 1987 ජුනි මාසයේදී ශ්‍රී ලංකා රජයේ අවසරයකින් තොරව ඉන්දීය හමුදා ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් අවකාශයට ඇතුළුවූ අතර, එය ඉන්දීය රජය මානුෂීය පියවරක් ලෙස සාධාරණීකරණය කෙරිණි. විශාල පරිමාණයෙන් සිදුවිය හැකි ඉන්දියානු හමුදා මැදිහත්වීමක් පිළිබඳව එවකට කනස්සල්ලක් නිර්මාණය විය. 1987 ජූලි මාසයේදී ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, රජයේ අනුමැතිය ඇතිව ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළුවීම සිදුවිය.
සීමාරහිත මිතුරෝ
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට ඉන්දියානු මැදිහත්වීමේ ඉතිහාසය, ඉන්දියාවට ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියාකිරීම සඳහා අනෙකුත් ප්‍රධාන බලවතුන් වෙත යොමුවීමට ශ්‍රී ලංකාවට පෙළඹවීමක් ලබා දී ඇත. පසුගිය වසරවලදී, ඉන්දියාවට එරෙහිව පර්යේෂණ කිරීම සඳහා චීන නාවික යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීම පිළිබඳව ඉන්දියාව සිය කනස්සල්ල පළකර තිබේ. හම්බන්තොට වරාය වැනි චීන යටිතල පහසුකම් ආයෝජන, ද්විත්ව සිවිල්-මිලිටරි අරමුණු සඳහා යොදාගැනීමේ හැකියාවක් ඇති බව පෙනෙන විට, චීනය සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව ඉන්දියාව සමඟ ඇති සබඳතා පළුදු කර ඇත. චීනයේ වර්ධනය වන ගෝලීය ප්‍රවේශය සහ ‘තීරයක් හා මාවතක් මුලපිරීම’ හරහා බලපෑම ප්‍රක්ෂේපණය කිරීමේ චීනයේ කැමැත්ත සැළකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම විසින් එය ඉන්දියානු සාගරයේ තීරණාත්මක මධ්‍යස්ථානයක් බවට පත්කර තිබේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමත් සමඟ, අතීතයේ මෙම බිය සහ සැකයන් සමනය වී ඉක්මණින් ගැටළු අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජනාධිපති අනුර දිසානායකගේ නායකත්වයෙන් යුත් පාලනය සියලුදෙනා සමඟ මිත්‍රශීලී ලෙස කටයුතු කිරීම සිය ස්ථාවරය ලෙස සළකා කටයුතු කරයි. ‘සියල්ලන් සමඟ මිත්‍රත්වය, කිසිවෙකු සමඟ සතුරුකමක් නොමැත’ යන මූලධර්මය අලුත් දෙයක් නොවේ. එහෙත් ප්‍රධාන බලවතුන් අතර ගෝලීය තරඟකාරිත්වය තීව්‍ර වන අද දවසේ අවදානම ඉතා ඉහළය. භූගෝලීය සාධක හා ඉතිහාසය අනුව ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ පළමු සහ වැදගත්ම සහකරු වනු ඇත. 2022 දී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වාෂ්ප වී ගිය විට හදිසි ආර්ථික ජීවනාලියක් ලබාදුන්නේ ඉන්දියාව මිස චීනය නොවේ, බටහිර නොවේ. ඩොලර් බිලියන 4 කට අධික ණය මාර්ග සහ සෘජු ආධාර ප්‍රමාණයක් ඉක්මණින් සහ අවම කොන්දේසි සහිතව ඉන්දියාව විසින් ලබාදෙන ලදී. කලාපීය සමීපත්වය බහුපාර්ශ්වික ආයතන විසින් පිරිනමනු ලබන ප්‍රතිචාරවලට වඩා වේගවත්, සන්දර්භය පිළිබඳව දැනුවත්ව, සක්‍රියව ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න එහිදී පැහැදිලිව පෙන්නුම් කළේය.
වෙන්කළ නොහැකි බැඳීම් ඇති බව සිතූ රටවල් සම්බන්ධයෙන් පවා, ලෝකය වඩාත් දැඩි හා විවෘතව ආත්මාර්ථකාමී ස්ථානයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළවල් එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය තුළ පිහිටා ඇති අතර, ජපානයෙන් සහ චීනයෙන් විශාල ආර්ථික ආධාර ප්‍රමාණයක් ලැබී තිබේ. එහෙත් අවාසනාවකට චීනයෙන් ලබාගත් ණය, පැවැති ශ්‍රී ලංකා පාලනයන් විසින් ‘සුදු අලි’ ලෙස හැඳින්වෙන යටිතල පහසුකම් ව්‍යාපෘති නිර්මාණය කිරීම සඳහා නුසුදුසු ලෙස භාවිත කරන ලදී. 2022 දී බංකොලොත් කළ ආර්ථිකයක් සහිත, දැවැන්ත ණය ආපසු ගෙවීම්වලින් බර වී ඇති ශ්‍රී ලංකාවට ලොව පුරා ආර්ථික සම්පත් සහ වෙළඳපොළවල් අවශ්‍ය වේ. ඉන්දියාවට සමීපවීම යනු එය සමඟ පමණක් සුවිශේෂී සම්බන්ධතාවයක් යනුවෙන් අදහස් නොකළ යුතු බව ජනාධිපති දිසානායකගේ පාලනය තේරුම් ගනු ඇත. බහුධ්‍රැවීය ලෝකයක, සියල්ලන් සමඟ මිත්‍රත්වය (සහ ව්‍යාපාර කිරීම) පිළිපැදිය යුතු ගුණධර්මයක් සහ අවශ්‍යතාවක් වේ. එහෙත් මිතුරන් අතර, සෑම විටම පළමුවැනියෙක් සිටිය යුතුය. ඉතිහාසය, සංස්කෘතිය, ආගම, භූගෝලය සහ උපායමාර්ගික තර්කනය යන හේතූන් මත එය ඉන්දියාව වනු ඇත.