දහවල් කෙටි නින්දට, තැන මාරු වුන හින්දා ද කොහෙද වටේ පිටේ ඇහෙන හැම සද්දෙකටම හිත යනවා මිසක් නින්ද නම් ආවේ නෑ අහලකට..
උඩහ ගෙදරක සද්දෙට කපුගේ ගේ සින්දු දාලා.
මහ පාලුවක් දුකක් වගේ එකක් හිතට දැනුනේ.
කොලු පැටියා නිදි මගේ කාමරේ. ඒ හින්ද මං ආවා මේ කාමරේට.
දරු පැටියා ගැන හිතේ දුකක් කණගාටුවක් ආව හින්දම ද මන්දා සින්දුවත් හිතට ගෙනාවේ දුකක් පාලුවක්.
නිදහසේ කුරුල්ලෙක් වගේ ජීවත් වුණ හින්දා මේ හිර වෙන ඒකාකාරී ජීවිතයට ආසා හිතෙන්නේ නැතිව ඇති. මේ ලෝකේ තියෙන ලස්සනම, වටිනාම දේ නිදහස කියලා දවසක් පුතා මට කිව්වේ ඒ නිසාම වෙන්න ඇති.
මහනුවරට ගියේ මහ වැස්සේ. කකුල් උඩින් වතුර ගලන් යන්නේ. අයියෝ අපරාදේ.. අලුතින් ගත්ත ලස්සන සපත්තු දෙක.
අලවලා තියෙන ගම් එක ගියාට පස්සේ සපත්තුවේ හැඩය වෙනස් වුනාම වැඩක් ම නෑ ඉතින්. කොල්ලව බස් එකට දාලා මං ආපහු කඩුගන්නාවක නැගලා ගෙදරට ආවා.
ගෙදරට යන පාර ළඟින් බහිද්දි, වැහි අඳුර මිසක් වැස්සක් අහලකවත් තිබුනේ නෑ. තෙත බරිත වෙලා හිටපු මං දිහා මිනිස්සු අමුතුවට බැලුවද මන්දා.
මට මොකෝ..
තෙමිච්ච කුඩෙත් වනාගෙන මං ගෙදර ආවා.
දැන් මහ වැස්ස. මහ සද්දෙට ගොරවනවා. විදුලි එලිය ගේත් එලිය කරනවා. විදුලි බලයත් විසන්ධි වෙලා නිසා ඒ එලිය වැඩියෙන් දැනෙනවා.
නෝට් පෑඩයේ අකුරු අමුණන්න අදහසක් ආවෙම ඒ හින්ද. ලත්තෑරුමක් වගේ හැඩයට තියෙන ආරෝපනය කල හැකි විදුලි ලාම්පුව විතරයි ගේම එලිය කරන්නට උත්සාහ කරන්නේ. ඒ එලියෙන් මං ලියනව.
තව කෙනෙකුට නැති වෙලා තියෙන දෙයක් තමන්ට තියෙනකොට ඒ ගැන තියෙන සතුට, නැති කෙනාට පෙන්න පෙන්න විඳින්න හොඳ නෑ. ඒ වගේ ජීවිතයක් අහිමි වීම ගැන දුකක් මිසක්, තියෙන අය ගැන ඊර්ෂ්‍යාවක් නෙවෙයි ඒ. මගේ පාලු හිතට දුක රිංගන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. මාව හොඳටම තේරෙන පුතාට මං ඒ ගැන කිව්වම,
“කොම්ෆෝටබල් නැති තැනින් ඉවත් වෙන්න අම්මා” කියලා කිව්වත්, මං තාම හිතනවා. මගේ දුක ගැන හැඟීමක් නැති වුනාට, මගේ ඉවත් වීම ගැන වැරදි ආකල්ප ඇති වෙනවාට මං කැමති නෑ.
ඒ වුණාට හිතට දුකයි.
මේ අපභ්‍රංශ.
රන්තෑරුම් එලියෙන් ලියන්න තව කොච්චර ලස්සන දේවල් තියෙනවද?
වැස්සට මං හරිම කැමතියි. ඊටත් හවස් කරේ වහින වැස්ස එක්ක වටාපිටාව, වැහි බීරුමෙන් අඳුරු වෙලා ගියාම නෙක රටාවේ සිතිවිලි මැවෙනවා නොදැනීම.
ආදරේ කියන්නේ දෙන්න ඕන දෙයක්.
ලැබෙන ආදරේ ගැන නොහිත ආදරේ දුන්නම දුක නෑ.
ආදරේ කියන්නේ මතක් වුනත් සතුට දැනෙන දෙයක්,
නිදහසට ආදරේ දෙන්න,
ආදරේට නිදහස දෙන්න.
ආදරේ ගැන හැඟීමෙන් ලියන්න වයස ගියාට බලපෑමක් නෑ. එකම බලපෑම, ආදරේ කවදාවත් දැනිලා නැති කෙනාට තරුණ අවදියෙත් ආදරේ ගැන ලියවෙන්නේ නෑ.
මහ විශාල ආදරණීය හදවතක් තියෙන මට ආදරේ මහ විශාලෙට අදත් දැනෙනවා.
ඉතින් දැනෙන්නේ නැති අයට මේවා අපභ්‍රංශ.
කරන්න දෙයක් නෑ අයියෝ…
ආදරේ නම් හැඟීම ම මට අදත් සුන්දරයි.