Breaking News

රෝසමල් කුමාරයා

ලියනගේ අමරකීර්ති

නිශ්ශංක විජේමාන්නගේ අලුත් කෙටිකතා පොත ගන්න ගියාම ඊයෙ නුවර සමුද්‍රා එකෙන් රෝසමල් කුමාරයත් ගත්තා.

ඒක යෞවන නවකතාවක්.

යෞවන සාහිත්‍යයෙහි යම් වර්ධනයක් මෑතකදි වෙලා තියෙනවා. එරික් ඉලයප්ආරච්චිත් යොවුන් නවකතාවක් ලිව්වා. ළහිරු කිතලගම, කසුන් සමරතුංග දෙන්නත් අගය කළ යුතු යොවුන් පොත් ලිව්වා. අලුත් විදිවලින් හිතන්න පුළුවන් අය යොවුන් සාහිත්‍යයට එන එක හොඳයි. ඒ ප්‍රවණතාව ආරම්භ කළේ ප්‍රියාන් ආර් විජේබණ්ඩාර වෙන්න ඕනෙ.

ඒ ප්‍රවණතාව හොඳ දෙයක්. යොවුන් නවකතාව හා ළමා සාහිත්‍යය ගතානුගතික අදහස් ඇති අයගෙ රාජධානියක් වෙන එක වැරදියි.

තිඹිරියාගම බණ්ඩාරගෙ ‘රෝසමල් කුමාරයා’ ඔහුට කොහොමත් පුරුදු සිත්ගන්නා බසින් ලියැවී තියෙනනවා.

ඒ නවකතාවෙ වැදගත්කම තියෙන්න ඉන් හසු කරගන්නා අර්ථ තලවල තියෙන ඝනත්වය නිසා. සාමාන්‍යයෙන් සිංහල යොවුන් නවකතාවල තියෙන්නෙ එක් සරල අර්ථ තලයක්.
මේ පොත එක්තරා තලයකදි අඹයහළුවෝ ස්වරූපයේ පාසල් මිත්‍රත්වයක් අල්ලනවා. හැබැයි ඉලංගරත්නගෙ පොතේ දි ‘දුප්පත් පෝසත් පරතරය’ හෙවත් සමාජ පන්තිමය මානය විතරයි මූලික වශයෙන් තියෙන්නෙ.

රෝසමල් කුමාරයා ඊට වෙනස්ව ජනවාර්ගික මානයත් අල්ලනවා. ශ්‍රීධරන් සහ සඳුන් දෙන්නා තමයි යාළුවො.

ශ්‍රීධරන් නුවර එළියේ ඉඳල පේරාදෙණිය පැත්තට එන පාරෙ අපි කවුරුත් දැකල තියෙන මල් විකුණ දරුවෙක්.
නුවර එළියෙ මල් විකුණන දරුවො හරි ප්‍රසිද්ධ වුණානෙ අර ෆේස්බුක් වීඩියෝව නිසා.

මේ කතාව ඇතුළෙත් ගෙදර ප්‍රශ්න නිසා පාරට ඇවිත් මල් විකුණන ශ්‍රීධරන්ට හොඳ පාසලක්, හොඳ විදුහල්පතිවරයෙක් හා හොඳ ගුරුවරුන් නිසා අධ්‍යාපනයෙන් සාර්ථක වෙන්න ලැබෙනවා. පාසලේ ගුරුවරයෙකු වන භික්ෂූන් වහන්සේ කෙනෙකුත් නිදහස් අධ්‍යාපනයේ හරය විතරක් නෙමේ බෞද්ධ ආචාරධර්මත් රකින කෙනෙක්. එහෙම භික්ෂූන් වහන්සේලා අපමණ වැඩ ඉන්නවා. මේ පාසලේ ඉන්නවා වැනි විශ්වාස කරන්න බැරි තරම් හොඳ ගුරුවරු පාසල් පද්ධතියේ තවම ටික ටික හරි ඉන්නවා.
මේ පොත ඒ මනුෂ්‍ය යහපතට අමතනවා.

ඒ විතරක් නෙමේ පොදු සමාජයේ යහපත් මනුෂ්‍යයන්ටත් පොත අමතනවා. එහෙම කරන්නේ ඉතා කරුණාවන්ත ස්ත්‍රියක වන සුනේත්‍රා ඔස්සේ.
මම පොතේ කතාව කියන්න යන්නෙ නෑ.

මේ යොවුන් නවකතාවේ වන තවත් අර්ථවත් දෙයක් තමයි ස්මාර්ට් ෆෝනය, සමාජ මාධ්‍යය වැනි දේවල් දූෂ්‍යකාරක සේ බැහැර කරන ගතානුගතික අදහස් වෙනුවට ඒ මනුෂ්‍ය තාක්ෂණික ජයග්‍රහණ දරුවන්ගේ ලෝකය පෝෂණය කරන්නට භාවිත කිරීම.

ඒක කොච්චරද කියනවා නම් නවකතාවේ සෑහෙන කොටසක් ලියවෙන්නේත් වට්ස්ඇප් සංවාද ලෙස.

දෙමළ හෝ සිංහල නිර්ධන පාන්තික දරුවන්ගේ ලෝකය පීඩාවට පත් කරන තවත් එක් මානයක් තමයි දෙමාපිය පවුල් සංස්ථාවල විසිරයෑම. පියවරුන්ගේ බීමත්කම හා වගකීම් විරහිතභාවය.

කතුවරයා මේ මානයත් අල්ලනවා.
නවකතාව අවසන් වන්නේ ශ්‍රීධරන් තුළම සිදුවන එක්තරා ආධ්‍යාත්මික වර්ධනයක් නොවේ නම් ආත්ම ගවේෂණයක් ඉඟිකරමින්.
තමා කළ, කවුරුත් නොදැන සිටි වරදකට ඔහු සමාව ගැනීමෙන් ඒ ආත්මික පිරිපහදුවීම ඉඟිකෙරෙනවා.

අනික තමයි දැන් අපේ දරුවො නුවර එළියෙ ලැයිමක වාසය කළත් ලෝකය සමග සම්බන්ධයි. ලෝකයේ සිදුවන දේවල් දකිනවා. ඔවුන් ලෝකයෙන් ඉගෙනගන්නවා.
මේ නවකතාවෙදි අර ලෙබනනයේ ප්‍රසිද්ධ රෝසමල් කුමාරයාගේ අනුවේදනීය කතාව නවකතාව ඇතුළට ගේනවා. ඒක ඉතා හොඳ ප්‍රයෝගයක්.

හොඳ පොතපත කියවීම, ලෝකය කෙරෙහි උනන්දුවෙන් යුක්තවීම ආදී ගුණාංග නවකතාවෙන් වගා වෙනවා.
දැඩි සේ විභාග කේන්ද්‍රීය හා ලකුණු කේන්ද්‍රීය අධ්‍යාපනයක හිර වී ඇති අපේ පාසල් පද්ධතිය තුළ සහවේදනීය පරිකල්පනය ගෙන එන්න මේ පොත තැත් කරනවා. විභාග ලකුණුවලට පිටින් දරුවන් ලබන ‘අධ්‍යාපනය’පාසල් ජීවිතයේ වැදගත් කොටසක්.

ගුරුවරු මෙවැනි පොත් කියවා දරුවන් සමග සාකච්ඡාවට ගන්න එක හොඳයි.

සමුද්‍ර ප්‍රකාශකයන් කුරුණෑගල සිට මේ පොත් වැඩිවැඩියෙන් පළ කරන එක හොඳයි.

හැබැයි පිටුසැකසුම්වල මොකක්දෝ අඩුවක් තියෙනවා. පේළි අතර පරතරය වැඩිද මන්දා. විදර්ශනලගෙන් ටිකක් අහල බැලුවොත් හොඳයි. පිටුව තව ටිකක් ඇහැට සනීප නම් හොඳයි.

කවරෙත් හොඳයිම කියන්න බෑ.
මම නම් මේ පොත කියෙව්වෙ හුස්ම දෙකකට. හැබැයි දරුවො නම් මේක එක හුස්මට කියවයි.

leave a reply