Breaking News

ආණ්ඩුවට එරෙහිව පැෆ්රල් ශ්‍රේෂ්ඨාධිකරණයට

ආණ්ඩුවේ සංවර්ධන සහ සුබසාධන ව්‍යාපෘති හරහා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට එරෙහිව පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට

පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මකව තිබිය දී මෙන්ම ජනාධිපතිවරණය ඉදිරි මාස 4 තුළ පවත්වන බව දැන දැනම ආණ්ඩුවේ විවිධ චක්‍රලේඛ හරහා රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති හා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීමට එරෙහිව, විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයාගේ 2024 අප්‍රේල් මස 29 වන දින PS/SB/Circular/5/2024 අංක දරන චක්‍රලේඛයට අනුව පළාත් පාලන බලප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීම මගින් ආණ්ඩුවේ ප්‍රාදේශීය මට්ටමේ නියෝජිතයින් ඊට සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහය වැළැක්වීම සඳහා පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට (SCFR/ 139/24) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන ලදි. මෙම පෙත්සම හරහා පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටින්නේ,

  1. මේ පුරවැසි කමිටු පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට අනුකූලව නිර්ණායක සකස් කිරීම

  2. එකී නිර්ණායක තුළ දේශපාලන පක්ෂ හා පක්ෂ නියෝජිතයින් ඇතුළත් නොවීමට කටයුතු කිරීම

  3. දැනට පළාත් පාලන ආයතන නියෝජනය නොකරන අපේක්ෂකයින් හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ලෙස පසුගිය වසර 5 ක කාලය තුළ කටයුතු කළ නියෝජිතයින්, අපේක්ෂකයින් හෝ හිටපු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂවල ශාඛා සමිති වල නිලධාරීන් හා නියෝජිතයින් පත් නොවන බවට තහවුරු කිරීම

  4. අදාල පත් කිරීමේ බලය ආණ්ඩුකාරවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ඉවත් කර ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට බලය පැවරීම

  5. එම චක්‍රලේඛයේ උපදේශන කමිටු හරහා හඳුනාගනු ලබන අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 10 බැගින් වෙන්කර ඇති ප්‍රතිපාදන ආණ්ඩුකාරවරයා හරහා හා පළාත් සභා මගින් නිකුත් කිරීම. (ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතයා වන බැවින්) ආණ්ඩුව එහි ඍජු ලෙසම දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවිය හැකි බැවින් එය වළක්වා ගැනීම සඳහා එම සංවර්ධන යෝජනා ද ප්‍රාදේශීය ලේකම් හරහා ක්‍රියාත්මක කිරීමට නියෝගයක් නිකුත් කිරීම

  6. මැතිවරණයක් ක්‍රියාත්මක මොහොතේ සංවර්ධන හා සුබසාධන කටයුතු සිදුකිරීම හරහා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය වීම වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව හරහා ඊට අදාල නිර්දේශ සකස් කිරීමටත්, ඒ නිර්දේශ බලාත්මක වීමට අවශ්‍ය නියෝගයක් ලබාගැනීම සඳහා එකී නිර්නායක මේ මොහොතේ ක්‍රියාත්මක මැතිවරණයෙන් ඔබබ්ට ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකට අදාලව එකී නිර්දේශ බලාත්මක වන ආකාරයේ නිර්දේශයක් නිකුත් කිරීම

  7. මැතිවරණ කාලය තුළ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් ඒ මොහොතේ බලයේ සිටින දේශපාලන පක්ෂවල පක්ෂ හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීම හෝ නීති විරෝධී චක්‍රලේඛ නිකුත් කිරීම වැළැක්වීම සඳහා සුදුසු නියෝගයක් ලබාදීම

රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව හෝ එමෙන්ම ජනතාව ආර්ථික පීඩාවෙන් සිටින මොහොතක සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැෆ්රල් සංවිධානයට කිසිදු විරෝධයක් නොමැති අතර මෙහිදී අප අවධාරණය කරනු ලබන්නේ එම ව්‍යාපෘති මගින් කිසියම් දේශපාලන පක්ෂයක් හෝ පක්ෂ අපේක්ෂකයෙක් හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීමෙන් වළකින ලෙසත් ය.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි,
විධායක අධ්‍යක්ෂ.

leave a reply