Breaking News

උතුරු මුහුදේ දූපත් 3ක ක්‍රියාත්මක විදුලි ව්‍යාපෘතිය – චීන සහ ඉන්දියාව තරඟයක, ඉන්දියාවෙනුත් ලංසුවක්

උතුරේ යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව පිහිටි දූපත් 03 ක ආරම්භ කිරීමට නියමිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබීමත් සමඟ ඉන්දියාව සහ චීනය අතර යම් උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.

එහි පළමු පියවර වූවේ මෙම ව්‍යපෘතිය චීනයට ලබාදීමට ඉන්දියාව විරෝධය දැක්වීමයි. ඉන්දියාව පවසා තිබුණේ මේ හරහා තම රටේ ආරක්ෂාව අනතුරේ හෙළන බවයි. නමුත් එයට චීන රජයේ ප්‍රතිචාරය වී ඇත්තේ එය මෙම ව්‍යාපෘතිය නිකම්ම නිකම් වාණිජ ව්‍යපෘතියක් පමණක් බවයි. ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබූ පරිදි ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙන්නේ මෙම ව්‍යාපෘතිය නියමිත ටෙන්ඩර් පටිපාටියකට අනුව චීන සමාගමක් වෙත ලැබුණක් බවයි. එසේම ස්වාධින රටකට එය තීරණය කිරීමේ අයිතිය ඇති බවද ඔහු පවසා තිබුණි.

අදාල ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමක්ද ඉල්ලුම් කර තිබූ නමුත් තාක්ෂණික දෝෂ හේතුවෙන් එම සමාගම ප්‍රතික්ෂේප වී තිබේ.

කෙසේවෙතත් මේ වනවිට ඉන්දියානු රජය විකල්ප යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර අදාල ව්‍යාපෘතිය තමන්ට ලබා දෙන්නේ නම් ඒ සඳහා වැයවන ඩොලර් මිලියන 12 ක මුදල ලබාදීමටද හැකියාව තිබෙන බවයි ඉන්දීය බළධාරීන් පවසන්නේ. මෙම යෝජනාව දැනටමත් නිළ වශයෙන් මෙරට රජය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 12 ක මුදල ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ලැබීමට නියමිතය.

ඩෙල්ෆ්ට්, නයනතිව්, අනලතිව් යන දූපත්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

අවසානයේ මෙම ව්‍යපෘතිය කුමන රටකට ලබා දෙයිද යන්න දැන්මම තීරණය කර නොහැකි නමුත් එය කුමන රටකට ලබාදුන්නද ලෝක දේශපාලන බල අරගලයේදී චීනය සහ ඉන්දියාව අතර පවතින ගැටුමට ලංකාවට වන්දි ගෙවීමේ අනතුර තව තවත් වැඩිවනු ඇති බවට දේශපාලන විචාරකයන් මත දක්වමින් සිටියි.

leave a reply