Breaking News

ඉන්දියාවේ සිට ත්‍රීමලේ දක්වා තෙල් නලයක් සම්බන්ධ කිරීම ගැන සාකච්ඡා ඉදිරියට

දින දෙකක සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති සහ නියෝජිත පිරිස තවදුරටත් ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන උපායමාර්ගික වැඩපිළිවෙල සම්බන්ධ මැදිහත්වෙන ආකාරය දක්නට ලැබේ. එම උපායමාර්ගික වැඩපිළිවෙලේ ප්‍රධාන තැනක ත්‍රිකුණාමල වරායට, තෙල් ටැංකි සඳහා ලැබේ.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානය වැනි උපායමාර්ගික ව්‍යාපෘති සඳහා තවදුරටත් කාලය නාස්ති කිරීමට ඉඩක් නොමැති බව අවධාරණය කරමින් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ප්‍රකාශ කළේ, මේ සඳහා මෙතෙක් නිශ්චිත කාලරාමුවක් සකස් කර නොමැති වුවද, ව්‍යාපෘතියේ සංකීර්ණත්වය සහ ඒ සඳහා වැය වන විශාල මූල්‍ය පිරිවැය සලකා බලමින් සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි.

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්ගේ සමඟ පැමිණි මිස්රි මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙහි විස්තර අවසන් කිරීම සඳහා තවත් යම් කාලයක් අවශ්‍ය වනු ඇති බවයි.

“අපි මේ පිළිබඳව මූලික සාකච්ඡා 2023 දී ආරම්භ කළා. පසුව එය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස හැඩගැසුණා. මෙහි පළමු අදියරේදී දකුණු ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය දක්වා නල මාර්ගයක් ඉදිකිරීමේ හැකියාව ඇතුළත් වෙනවා. ඒ හා සමාන්තරව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ හැකියාවත් මෙයට ඇතුළත්. මේ සම්බන්ධයෙන් සලකා බැලිය යුතු තොරතුරු සැලකිය යුතු ප්‍රමාණයක් අප දැන් ශ්‍රී ලංකාව සමඟ බෙදාගෙන තිබෙනවා,” යැයි ඔහු පැවසීය.

ඊයේ දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස් අතර විවිධ මට්ටමින් පැවැති සාකච්ඡාවලදී ද මෙය සවිස්තරාත්මකව සාකච්ඡාවට බඳුන් වූ බව ඔහු සඳහන් කර තිබේ. “ලොව පුරා රටවල් කිහිපයකට, විශේෂයෙන්ම මෙම කලාපයේ රටවලට බලශක්ති මිල සහ එහි පවතින බව තීරණාත්මක ගැටලුවක් වී ඇති මෙවැනි කාලයක, මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය මහත් පිටුවහලක් වනු ඇත,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“මෙම ව්‍යාපෘතියේ වැදගත්කම, උපායමාර්ගික ස්වභාවය සහ එහි ඇති හදිසි අවශ්‍යතාවය අවධාරණය කිරීමට අද අපට අවස්ථාව ලැබුණා. මෙම අදහස ඉදිරියට ගෙන යාම සඳහා අපගේ ශ්‍රී ලාංකික සගයන් සමඟ එක්ව කටයුතු කිරීමට අපි බෙහෙවින් බලාපොරොත්තු වෙනවා,” යැයිද ඔහු පැවසීය.

මෙම බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අමතරව ත්‍රිකුණාමල ආර්ථික කලාපයක් බවට පත්කිරීමේ ඉන්දියාවේ සැලසුමද ක්‍රියාත්මක වෙනු ඇත. ඊට අමතරව ඉන්දියානු විදුලි ව්‍යාපෘතියද ක්‍රියාත්මක වෙනු ඇත. මේ හරහා තවදුරටත් බලශක්ති ක්ෂේත්‍රයේදී ලංකාවේ ස්වාධිපත්‍ය ඉන්දියාවට යටවෙනු ඇත. මෙම වැඩපිළිවෙලට මුලින්ම එකඟ වෙනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසිනි. පෙනෙන්නට තිබෙන්න නව ආණ්ඩුවද එම ව්‍යාපෘති අකුරක් නෑරම ඉදිරියට ගෙනයමින් සිටින බවයි.

leave a reply