Breaking News

මිත්‍රවරුනේ අපි අවුරුදු තුනෙන් ඉතුරු ටික කරලා දෙන්නම්

සමන්සිරි හේරත්

මන්ද ස්වරයෙන් දෙබස්  කීම  ආරම්භ කරයි…… රට අල්ලගෙන අල්ලගෙන ආවා කොටි.  හැම නායකයාම අත ඇරියා නේද වැඩේ. හැබැයි මිත්‍රවරුනි කවුරුත් බැහැ කියපු යුද්ධය අවුරුදු තුනහමාරක දී රාජපක්ෂ මැතිතුමන්ලා ඉවර කෙරුවා. විශ්වාසය තියන්න.

හඬ පාලනයෙන් ගිලිහී යයි බෙරිහන් දෙන්න පටන් ගනී

කවුරුත් බැහැ කියන ආර්ථිකය අපි ඊළඟ මහ ඡන්දෙට යන්න ඉස්සර වෙලා ණය නැති රටක් බවට පත් කරලයි ඡන්දෙකට යන්නේ  කියලා අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ……

අපරාදේ නිවුස් එඩිට් කරන කොල්ලා කතාව සම්පූර්ණ දාලා නෑ පොඩි කෑල්ලයි අරන් තියෙන්නේ…. මිත්‍රවරුනේ එතනින් එහාට නාට්‍යයේ මොනවා වුණාද කියන්න දන්නේ නැහැ… එසේ වුවත් මේ චූටි කෑල්ලෙන් ආන්ඩුවේ එවුන්ගේ පාරම්බෑමේ, කෙප්ප  කෙළිමේ පිළිවෙත පිළිබඳව යළි යළිත් මතක් කර දෙන බව නම් කියන්න පුළුවන්.

මතක නැති උනා අර ඉහත දෙබස් ටික කිව්වේ පවිත්‍රා වන්නිආරච්චි….  කොහොම වුණත් එයා රාජපක්ෂවරුන්ට  …………….. තිත් තියන තැනට කැමති වචනයක් දාගන්න.

මේ දවස් වල ආණ්ඩුවට ගැති බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි  ගෝඨාභයට අවුරුදු දෙකක් නැති වුණා ඒ නිසා රට සුඛිත මුදිත කරන්න  බැරි උනා, එයාට අවුරුදු දෙකක්  දෙන්ඩ ඕන කියලා.

coved-19   වසංගතය නිසා ලෝකයේ අනිත් රටවල් වල ආර්ථික යම් කඩාවැටීමකට ලක් වූ බව ඇත්ත හැබැයි ලංකාවේ තරම්ම කෙලවිලා ගියේ නෑ ආර්ථිකයට. ලංකාවේ කතාව ඇතුලේ සනාථ කරන්නේ, පෙන්නන්නෙ, ඔප්පු වෙන්නේ, වෙන මොකවත් නෙමෙයි මේ පාලකයන්ගේ පාලනයේ දුබලතාවය. හැබැයි අපි එහෙම කියන එකත් වැරදියි. පාලනයේ  දුබලතාව නෙමෙයි, තමන්ගේ පන්තියට සේවය කිරීමේ පක්ෂපාතිත්වය. මොකද මේ පාලනය තුළ යන එන මං නැති වෙලා තිබෙන්නේ පීඩිත පන්තියේ ජනතාවට. රාජපක්ෂවරුන්ට ගැතිකම් කරන බැලකම්  කරන, මුදල් වියදම් කරන, ඉහළ පෙළැන්තියේ උන්ට ලාභ තමයි සිද්ධ වෙලා තියෙන්නේ, එනිසා මේ ඔවුන් සේවය කරන්නේ කාටද කියන එක තමයි පෙන්නලා තියෙන්නේ.

පවිත්‍රා එහෙම කිව්වට මිත්‍රවරුනේ  යුද්ධය අවසාන කරේ ඔය රාජපක්ෂවරු විතරක් නෙමෙයි රටේ සමස්ත ජනතාවම ඒකට කැපවෙලා වැඩ කල නිසා  තමයි ඒක අවසාන කරගන්න පුලුවන් උනේ. ඒක අපි පැත්තකින් තියමුකෝ. මෙයාලා කියන හැටියට ඉදිරි වසර තුන තුළදී  ආර්ථිකය නගා සිටුවා  සම්පූර්ණ ණය ගෙවන්න පුළුවන් නම් මාර ආතල් එකක් ගන්න පුලුවන්නෙ අපිට. මේ මොහොතේ අත්‍යවශ්‍ය තෙල් ටික ගේන්න බැරුව හතර අතේ මලපහ කරගන්න මේ ගොයියෝ මේ අවුරුදු තුන ඇතුළත ණය ගෙවන්නේ කොහොමද?

සමහර විට මේ කියන කතාව බොරුවක් වෙන්නත් බැරි නැහැ. මේ හොර හැත්ත හොරකම් කරපු රටේ  මහජනතාවගේ මුදල් එළියට ගත්තොත් ණය ගෙවන්න පුළුවන්. හෙට අනිද්දා මැරෙන්න ඉන්න හින්දා ඒ වගේ පින්කමක් කරගන්න සූදානමක් තියෙනවද දන්නෙත් නැහැ. මොකද මේ උන් යන තැන ස්වර්ගය නම් වෙන්න බැහැ. අපාය මිසක. ඒකට බය ද දන්නෙත් නෑ.

ඒ මොනව වුනත් මේ දවස් වල ආණ්ඩුවට විරුද්ධව ගොඩ නැගෙන විරෝධය සමනය කරන්න සුරංගනා කතා කියන බලකායක් නිර්මාණය කරලා කියන එකනම් පැහැදිලියි ඉතින් ඒ සුරංගනා කතා කියන උන් අතර, සුරංගනා කතා මල්ලක් තමයි පවිත්‍රා .

ඔය සුරංගනා කතා ගැන වැඩිපුර හිතන්න එපා.  කැමති නං හෙට අනිද්දා නිර්මාණය වෙන්න තියෙන පෝලිම මොකක්ද කියන එක අනුමාන කර ගත්තොත් හොඳයි මොකද වෙලා කල් නැතුව ගිහිල්ලා පෝලිමේ ඉන්න පුළුවන්නේ. විදුලි බලය විසන්ධි වෙන්න කලින්  ඇඳට යන්න ඕනේ.

සුබ රාත්‍රියක්…

ප්‍රමාද වෙලා බලන අයට සුභ දවසක්

leave a reply