Breaking News

රුසියාව කොරෝනාවට එරෙහිව එන්නත මහා පරිමාණයෙන් නිපදවන්න සූදානම්

කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ටුවිටර් පණිවිඩයක් තබමින් සදහන් කරයි. මෙම එන්නත ලබන සතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිත බවද රුසියාව සඳහන් කරයි.

රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටියේ මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ලොව පළමු එන්නත ඔක්තෝම්බර් මාසයේදී විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

නිෂ්පාදනය කළ එම එන්නත රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන් හට පළමුව ලබා දීමට අදහස් කර ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙම එන්නතේ පළමු සායනික පරික්ෂාව ඉකුත් ජුනි මස 18 වෙනිදා මොස්කව් සෙකෙනොව් විශ්ව විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. ඒ සඳහා ස්වෙච්ජාවෙන් පුද්ගලයින් 38 දෙනෙකු එක්වූ අතර ඔවුන් සියලු දෙනාම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය කළ බවයි රුසියානු බලධාරින් සඳහන් කරයි.

රුසියාව ගතවු 20 වසරක කාලයේදී වෛරස් සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ අධ්‍යනයක නිරතවීම නිසා මෙහිදී වඩා පහසුවක් ඇතිවූ බව ජේෂ්ඨ විද්‍යාඥයෙකු වන වඩීම් ටාරසෝව් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

leave a reply