Breaking News

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම මැතිවරණ පොරොන්දුවක් පමණක් වෙයිද?

පාස්කු ප්‍රහාරය ගැන නැවතත් සංවාදයක් මතුව තිබේ. එයට හේතුව එම ප්‍රහාරය ගැන හෙළිදරව් කිහිපයක් සිදුකරන බව අනුර කුමාර දිසානායක පැවසීමයි.
ඔහු පවසන්නේ එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බවත්, දෙයියන්දර ප්‍රදේශයේ ඊයේ (30) පැවැත්වෙන ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා පපවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් මාසයේ 21වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. බොහෝ දුරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් 21වනදා පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න”

පාස්කු ප්‍රහාරයේ වින්තියන්ට යුක්තිය ඉටුකිරීම ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවකි. නමුත් බලයට පත්වී මාස කිහිපයක් ගතවී ඇතත් ඒ සම්බන්ධ ගත් ඉදිරි පියවරක් ගැන සඳහන්ව නැත. සිදුව ඇත්තේ ශානි අබේසේකර සේවයේ පිහිටුවීම පමණි.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥානසාර හිමි පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් තොරතුරු දන්නා බවයි. නමුත් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ගත් පියවරක් ගැන දැනගන්නට නැත.

අවධානයට ලක්විය යුතු ප්‍රධාන කරුණ වන්නේ මෙම කතාව නැවතත් මතුවෙන්නේ මැතිවරණ වේදිකාවක මැතිවරණ පොරොන්දුවක් ලෙස වීමයි. මැතිවරණ සමයේ ජනතාවට විවිධාකාරයේ පොරොන්දු ලබාදීම පසුගිය සමයේ බලය හෙබවූ දේශපාලනඥයන් සිදුකළ වැඩකි. මැතිවරණයෙන් පසු ඒවා තමන් ලබාදුන් පොරොන්දු බව හෝ ඔවුන්ට මතක නැත. නැවත ඒවා කරළියට පැමිණෙන්නේ ඊළඟ මැතිවරණයකදීයි.

ජාතික ජන බලවේගය ආණ්ඩුවද එවැනි තැනකට පත්වීද යන සැකය ඇතිවේ.

leave a reply