Breaking News

මේ කෙහෙළිය හැර තවත් කෙහෙළියලා සිටීද ?

ඖෂධ වංචාව සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කෙහෙළිය රඹුක්වැල්ල විසින් රජයේ වාහන අවභාවිත කිරීමක් ගැන සහ රජයේ නිල නිවාසයක මාස හතරක මුදල් ගෙවීමක් නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී පැහැදිලි වෙන කරුණක් වන්නේ පොදුවේ රජයේ ඇමතිවරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවගේ බදු මුදලින් කොතරම් සුඛෝපභෝගී ජිවිතයක් ගතකරනවාද යන්න සහ ඒවා කොතරම් ප්‍රමාණයකින් අවභාවිතා කිරීමට ඔවුන්ට හැකියාවක් පවතීද යන්නයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට බාර දී තිබූ බෙන්ස් රථය සහ V 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය අමාත්‍ය ධූරය අහිමි වීමෙන් අනතුරුව ඔහුට ලබා දී තිබූ අති නවීන සුඛෝපභෝගී නිල රථ දෙක අවභාවිත කරන බවට සිවිල් පුරවැසියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

2022 මැයි මස සිට කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන අවධියේ එම අමාත්‍යංශය මගින් අමාත්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට ලබාදී තිබුණු මෝටර් රථ කිහිපය​ක් ඉකුත් ඔක්තෝබර් මස 23 වෙනි දින සිට පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පත්වීමෙන් පසුව රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එම මෝටර් රථ නැවත බාර දෙන ලෙස දිගින් දිගටම කළ ඉල්ලීම් වලට අනුව අමාත්‍යවරයාට නිල ර​ථ ලෙස ලබා දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගය සුපෝඛභෝ​ගී මෝටර් රථ දෙක හැර අනෙක් වාහන බාර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඉකුත් පෙබරවාරි 03 දින සිට අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වුවද එම සුඛෝපභෝගී මෝටර් රථ දෙක ආපසු භාරදී නොතිබුණු බව විමර්ශනවලදී හෙළි වුණා.

ඒ අනුව එම නිල රථ දෙක මෙතෙක් බාර නොගැනීමට හේතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසමින් විමර්ශන කරන අතරතුර හිටපු අමාත්‍ය කෙහෙළියගේ අමාත්‍යාංශ ලේකම්වරියකගේ මාර්ගයෙන් ඉකුත් මස 24 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයට භාරදී ඇති බවට කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරියක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත ඉකුත් මස 25 වැනි දින ලිඛිතව දන්වා ඇති බවත් අනාවරණය වුණා.

මේ අතර මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය පවසනවා.

අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඒ මහතාට තාවකාලිකව රැඳී සිටීම සඳහා කුලී පදනම මත මහනුවර මලබාර් වීදියේ පිහිටි මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස ලබා දී තිබුණා.

එලෙ​ස ලබා දී ඇත්තේ ඔහුගේ මාසික වැටුපෙන් 10% ක මුදලක් අය කර ගැනීමේ ගිවිසුමක් මත බව පවසන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට අය වී ඇතත් මේ වන විට එම මුදල් ලැබීම නතර වී ඇති බව ප්‍රධාන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු පවසනවා.

හිටපු අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් පසු මාස හතරක කාලයක් එම මුදල් අයවීම නතරවී ඇති බැවින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල් අයකර දෙන ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

නමු​ත් ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇත්තේ මාදිවල පිහිටි මන්ත්‍රී නිවාසවල මුදල් අය කර ගැනීමේ බලය ඇතත් පිටස්තර නිවාස වල මුදල් අය කර ගැනීමේ බලයක් ලේකම්වරයාට නොමැති බවයි.

එම මුදල් අයකර ගැනීමට මන්ත්‍රීවරයාගේ කැමැත්ත පළ කොට ලිපියක් ලබාදෙන්නේ නම් එම මුදල් අය කර දීමේ බලය පාර්ලිමේන්තු ලේකම්වරයාට ඇති බව එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයාගෙන් ඔහුගේ වැටුපෙන් 10% ක මුදලක් කපා ගැනීම සඳහා කැමැත්ත ඉල්ලා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ලිපියක් යොමු කොට ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැ​බී නොමැති බවද ප්‍රධාන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පවසනවා.

leave a reply