Breaking News

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමට ලබාදුන් වැදගත්ම සාක්ෂි 4ක් හෙළි වෙයි

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සලේ සහ සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා යන පිරිස ලබා දුන් සාක්කි සටහන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී හංස අබේරත්න මහතා විසින් මරදාන සමාජය සහ සාමයික කේන්ද්‍රය (CSR) වෙත නිල වශයෙන් මුදා හැර තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී 2023 සැප්තැම්බර් මස 21 සහ 22 දිනවලදී පාස්කු ඉරුදින ප්‍රහාරය හා චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් පැවැති විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සාක්කි සටහන් සභාගත කර තිබුණා.

එම තොරතුරු ඉල්ලමින් සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම තොරතුරු පනත යටතේ යොමු කළ තොරතුරු ඉල්ලීමකට අනුව අදාළ තොරතුරු ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ තොරතුරු මඟින් පහත සඳහන් කරුණු අනාවරණය වී ඇති බව සමාජය හා සාමයික කේන්ද්‍රය පෙන්වා දෙනවා.

1)තුවාන් සුරේෂ් සලේ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියදී සිට හමුදා බුද්ධි අංශ සතුව සහරාන් හෂීම් සම්බන්ධයෙන් තොරතුරු පැවතිය බව.

නැගනෙහිර බුද්ධි නිලධාරීන් සහරාන් හෂීම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බව තුවාන් සුරේෂ් සලේ මහතා විසින් 2020 ජුනි 25 වැනිදා ජනාධිපති කොමිසමට ලබා දුන් සාක්කියේ දී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සංජීව දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

එම සාක්කියේ 94 සහ 95 පිටුවල මේ බව සඳහන්ව ඇති අතර තව්හිත් ජමාත් කණ්ඩායමක් සමග ඔවුන් සම්බන්ධ වූ බවත්, ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයට ගෙන්වා සාකච්ඡා පවත්වා ඇති බවත් ඔහු තම සාක්කියේ 113 පිටුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

2)සහරාන්ගේ ආරක්ෂාව ගැන වෙහෙසුණු ඉන්දියාවේ සිටින බවට සහරාන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති අබුහින්ද් නම් පුද්ගලයා සහරාන් සමග කතා බහ කිරීමට ආරම්භ කර ඇත්තේ 2017 වසරේ අවසානයේ පමණ සිට බව සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා තම සාක්කියේ දී ප්‍රකාශ කර තිබීම.

2020 ඔක්තෝබර 20 වැනි දා ජනාධිපති කොමිසම වෙත ඇය සාක්කි ලබාදී තිබුණා. 2017 වසරේ අවසානයේ සිට 2019 වන තෙක් අබුහින්ද් නමින් සිටි පුද්ගලයා සහරාන් සමග නිරන්තරයෙන් සන්නිවේදනය කළ බව හාදියාගේ සාක්කියේ 76වැනි පිටුවේ සඳහන් වෙනවා.

එසේම අප්‍රේල් තුන් වැනි දා පානදුර හා කටුවාපිටිය නිවාස අතර බඩු හුවමාරුවක් (බෝම්බ ද්‍රව්‍ය) සිදුවීම ගැන හාදියාකේ සාක්කියේ 124 සහ 125 පිටුවල සඳහන් වෙනවා. මහනුවර පැවැති ආයුධ පුහුණුව අතරතුරදී පොලිසිය පැමිණ පරීක්ෂා කරද්දී සහරාන් ඇතුළු පිරිස සතුව ගිනි අවි තිබුණු බවත්, සහරාන්ගේ බෑගය පරීක්ෂා කළ ද පොලිසිය ගිනිඅවිය සොයා නොගත් බවට සහරාන් ප්‍රකාශ කළ බවත් හාදියා තම සාක්කියේ 150 වැනි පිටුවේ පවසා තිබෙනවා. සයින්දමරුදු සිදුවීම අවස්ථාවේදී නිවස ගිනි ගනිද්දී නිවසේ එළියෙන් පැමිණ ජනේලයෙන් සහරාන්ගේ සහෝදරයා සෙයිනි තමාට කතා කළ බවත්, තමා නොගිය බවත්, ටික වේලාවකට පසු වෙඩි සද්ධ ඇසුණු බවත්, වෙඩි සද්ධවලින් පසු සාරාගේ වැනි කඩහඩක් ඇසුණු බවත්, තමා පිටුපසට හැරී බලන විට කාන්තාවක් සිටගෙන සිටි බවත්, ඇගේ මුහුණේ ලේ තිබුණු බවත්, ඇඳුම පිළිස්සී තිබුණු බවත් සහරාන්ගේ බිරිඳ තම සාක්කියේ 170 සහ 171 වැනි පිටුවල සඳහන් කර තිබේ. එම කාන්තාවගේ හැඩහුරුකම සාරාගේ මෙන් බව ද හාදියා ප්‍රකාශ කර තිබුණා.

3)දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ද 2017 සිට සහරාන්ගේ නම අසා ඇති බවත්, 2017 දී නාලක සිල්වා මහතා පැවැත්වූ වැඩසටහනකට ඔහු සම්බන්ධ වූ බවත්, එහිදී ආගමික අන්තවාදය ගැන සඳහන් කරද්දී සහරාන්ගේ නම ද ප්‍රකාශ වූ බවත් දේශබන්දු තෙන්නකෝන් තම සාක්කියේ දී පිළිගෙන තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුර පොලිස්පතිවරයා විසින් පහළ නිලධාරීන්ට ලබා දුන් පසු බස්නාහිර පළාත භාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා ඇතුළු නිලධාරීන් පිරිසකට ලිඛිතව ඊට අදාළව කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දුන් බවත්, එම උපදෙස් හරි ආකාරව ක්‍රියාත්මක කළා නම් කටුවාපිටි ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබූ බව තමා පිළිගන්නා බවත් දේශබන්දු තෙන්නකෝන් තම සාක්කියේ 78 සහ 79 පිටුවලදී පවසා තිබෙනවා.

අදාළ ලිපි කට්ටල තමා පහළ නිලධාරීන්ට යැවූ බවත්, අප්‍රේල් 18 වැනිදා රාජකාරි කර තමා නිවාඩු ගිය බවත්, බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ තමා සිටියේ මහියංගනය ප්‍රදේශයේ බවත් තෙන්නකෝන් තවදුරටත් සඳහන් කර තිබුණා.

පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන්ව තිබෙන නිසා කිතුණු පියතුමකුටවත් මේ ගැන දැනුම් නුදුන්නේදැයි දේශබන්දු තෙන්නකෝනගෙන් විනිසුරුවරුන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එලෙස දැනුම් දීමක් සිදු නොකළ බවයි.

නුදුරේදීම පල්ලිවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී පාස්කු දිනය යනු නුදුරුම දිනයක් බවට සරල වැටහීමක් තිබියදීත් නිවාඩු යාමට පෙර තම ආරක්ෂක සැලැස්ම ගැන වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස් දුන්නේදැයි කොමිසම ප්‍රශ්න කළ විට දේශබන්දු තෙන්නකෝන් කියා ඇත්තේ එලෙස නුදුන් බවයි.

ඉහත කරුණු සහ සාක්කි සියල්ල සාවධානව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ සරහාන් සම්බන්ධයෙන් පමණක් නොව කොළඹ කේන්ද්‍රකරගෙන පැවැති ඊබ්‍රහිම් පුතුන්ගේ සංවිධානය වූ ජේඑම්අයි සංවිධානය ගැන පවා බුද්ධි අංශ දීර්ඝ කාලයක සිට දැනගෙන සිට ඇති බවයි.

ලැබී ඇති සාක්කි අනුව ඉතා සුළු පිරිසක් සාමාජිකත්වය දැරූ ජේඑම්අයි සංවිධානයට හමුදා බුද්ධිඅංශවල ඒජන්තවරයකු පවා යොදවා සිටියදී බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු ලබාගෙන ප්‍රහාරය වළක්වා නොගැනීම ඉතාම පුදුම සහගත කරුණක් බව සමාජය හා සාමයික කේන්ද්‍රය පෙන්වා දෙනවා.

එම සංවිධානය තවදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අනිකුත් සාක්කි සහ වෙළුම් ප්‍රසිද්ධ නොකරන්නේ මෙම ප්‍රහාරය පිටුපස ඇති තුමන්ත්‍රණය හෙලිදරව් වන නිසා බව සඳහන් කිරීමට මෙම සාක්කි කිහිපයෙන් අනාවරණය වන තොරතුරුම ප්‍රමාණවත් වන බවයි.

එසේ හෙයින් පාස්කු ප්‍රහාරයට අදාළව ඇති සියලු‍ම තොරතුරු මුදා හරින ලෙසත්, මේ සම්බන්ධයෙන් සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණයකට අවස්ථාව සලසන ලෙසත් සමාජය හා සාමයික කේන්ද්‍රය ආණ්ඩුවට බලකර සිටිනවා.

leave a reply