අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට විශේෂ ලිපියක් ලියමින් ආණ්ඩුවේ මර්නකාරී පියවර තමන් වෙත එල්ල වී ඇකාරය අනාවරණය කරයි.
අගොස්තු 3 වැනිදා කොතලාවල පනතට එරෙහිව විරෝධය දැක්වූවන් ව්‍යාජ චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීම් හා නීති විරෝධී පැහැරගැනීම් හරහා සිදුවන අයක්තියට අමචරව කොරෝනා වසංගතයට ගොදුරු කරවීමේ තත්වය වසන්ත මුදලාගේ මෙම ලිපියෙන් හෙළි කරයි.
ඔහු බ්ධනාගාරයේ සිට ලියා එවු ලිපිය පහත සටහන් වේ.
“කොවිඩ් වසංගතය සමාජය මත පහර පිට පහර ගසමින්, දුර්වල කරමින් ඉන්න මොහොතක අපිට බන්ධනාගාරයක් ඇතුළෙ ඔහේ කල් මරමින් ඉන්න වෙලා.
වසංගතය සමාජයක් අක්‍රීය කරද්දි ඒ වසංගතයටම මුවා වෙලා පාලකයො විරුද්ධ මත දරන සමාජ ක්‍රියාකාරීන් අක්‍රීය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අදට අපි සිරගත කරලා දින 83 ක්. එක අතකට අපි ආණ්ඩුවට ස්තූති කරන්න ඕනි. මොකද ඔවුන්ගේ පාලනයේ සැබෑ නරුමත්වය දකින්න මේ වගේ වෙලාවක, මේ වගේ තැන්වල ඉන්න ලැබෙන එක එක අතකට හොඳයි. රුපියල් දාහක දඩයක් ගෙවාගන්න බැරුව මාස ගණන් සිරගත වෙලා ඉන්න මිනිස්සු, බලහත්කාරයෙන් වැරදි පටවලා බොරු නඩුවලට පටලවලා දුක් විඳින මිනිස්සු, ලෙඩ වෙලා, අසරණ වෙලා හව්හරණක් නැතුව පණ ගැහෙන මිනිස්සු මේක ඇතුළෙ ඉන්නවා. “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය” කියල බන්ධනාගාර තාප්පෙ ලොකුවට ගහල තිබ්බට තාප්පෙන් ඇතුළෙ ඉද්දි ඒ සුරංගනා කතා අදාළ වෙන්නෙ නෑ. තාප්පෙන් ඇතුළට ආපු කෙනෙකුට තමයි තේරෙන්නෙ ‘සියලු මනුෂ්‍යයෝ ද සිරකරුවෝය’ කියලා.
චමීර සහෝදරයා, හේෂාන්, අමිල සහෝදරවරු සහ කෝෂිලා සහෝදරිය සමඟ අපි අත්අඩංගුවට පත් වුණේ කොතලාවල පනතට විරුද්ධව පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට උද්ඝෝෂණය කරපු නිසා. ඔව්, අපි කොතලාවල පනතට විරුද්ධ වෙන්න ඕනි. කොතලාවල පනතෙන් නිදහස් අධ්‍යාපන අයිතිය, සමාජයකට ඉගෙනගන්න තියෙන අයිතිය විකුණනවා විතරක් නෙමෙයි, මිලිටරි ව්‍යූහයකට අධ්‍යාපනය ගැන සම්පූර්ණ බලතල ලබා දෙනවා. හිරගත වුනා නෙමෙයි බෙල්ල ගහල ගියත් ඒ වගේ විනාශයක් ඇස් පනාපිට සමාජයකට වෙන්න දෙන්න බෑ. මොකක්ද ආණ්ඩුව මේ කරන්න හදන්නෙ? වෙන මොකුත් නෙමෙයි, කිසිවකට විරුද්ධ නොවන, කිසිවක් ප්‍රශ්න නොකරන, කිසිවකට අභියෝග නොකරන කීකරු සමාජයක් හදාගන්න. කම් කම් බූරූ කියල කියන කියන දේ අනුමත කරගන්න පුළුවන් විදිහට අනාගත පරම්පරාව හීලෑ කරගන්න. ශිෂ්ටාචාරයේ වර්ධනය බාල කරවන්න. මෙහෙම විනාශයක් සමාජයකට වෙනකම් නිකම් බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ. ඒ නිසා අපි එක හිර ගෙදරක නෙමෙයි, හිර ගෙවල් හත අටක වැටෙන්න සිද්ධ වුණත් කොතලාවල පනතට විරුද්ධව කරන අරගලය ජයග්‍රහණය තහවුරු කරන තුරු නවත්වන්නෙ නෑ.
ආණ්ඩුව මේ අත්අඩංගුවට ගැනීම්, මාස ගණන් සිරගත කරගෙන රඳවා තබාගැනීම් කරන්නෙ සටන් කරන බලවේග දුර්වල කරන්න. මම අත්අඩංගුවට පත් වුණේ අගෝ.06 උදේ පාන්දර සිරස රූපවාහිණියේ වැඩසටහනකට සම්බන්ධ වෙලා එන අතරතුර. අත්තඩංගුවට ගැනීමකුත් නෙමෙයි ඒක පැහැරගැනීමක්. මීට කලින් දවසෙ (අගෝ.05) ජපුරෙ අමිල සහෝදරයව අත්අඩංගුවට ගත්තෙ නිල් පාට වැගන් වර්ගයේ වෑන් එකක ආපු නාඳුනන පිරිසක්. එතන නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරීන් හිටියෙ නෑ. අමිලව අරගෙන යන්නෙත් පොලීසියට නෙමෙයි මිරිහාන කිට්ටුව රහසිගත ස්ථානයකට. පැය ගණනාවකට පස්සෙ තමයි තලංගම පොලීසියට අරන් එන්නෙ. මේව එකක්වත් අත්අඩංගුවට ගැනීම් නෙමෙයි, පැහැරගැනීම්. කෝෂිලා සහෝදරිය ගෙදරටම ගිහින් කුදලගෙන එන්නෙ අඩුම තරමෙ චෝදනාවක්වත් නැතුව. චමීර සහෝදරයත් එහෙමයි. එකම දේ ඔවුන් උද්ඝෝෂණයට සහභාගී වුණා. එච්චරයි! උද්ඝෝෂණයකට සහභාගී වීම වරදක්ද? මාස තුනක් සිරගත වෙන්න තරම්? උසාවියෙන් දිගින් දිගටම ඇප ප්‍රතික්ෂේප කරන්න තරම්?
ආණ්ඩුව කරන්නෙ දේශපාලන පලිගැනීම්. පොලීසිය, බන්ධනාගාර, අධිකරණය මේ හැම එකක්ම ඒ වෙනුවෙන් පාවිච්චි කරමින් ඉන්නවා. සරත් වීරසේකර පොලිස් ඇමතිගෙ, දේශබන්දු තෙන්නකෝන් වගේ ආණ්ඩු ගැති නිලධාරීන්ගෙ ප්‍රකාශවලින්, හැසිරීම්වලින් ඒ බව ඕනවටත් වැඩිය තහවුරු වෙනවා. අගෝ.06 පාන්දර මාව අත්අඩංගුවට අරගෙන තලංගම පොලීසියට ගියා. එතනදි කටඋත්තරය ලබාදෙන අතරතුර දුරකතනය හරහා දේශබන්දු තෙන්නකෝන් තලංගම පොලිස් ස්ථානාධිපතිට කතා කරා. ඔහු ලවා මගේ අතට දුරකතනය දීල දේශබන්දු තෙන්නකෝන් “මේ පාර නම් තොපි එකෙක්වත් අතාරින්නෙ නෑ. ඔක්කෝටම කෙළවලාම දානවා. තොපි රඟනවා වැඩියි, පරිස්සමෙන් හිටපියව්” කිව්වා. මේ බව මම බොහොම වගකීමෙන් කියන්නෙ. දේශබන්දු තෙන්නකෝන් දුරකතනය හරහා එහෙම තර්ජනය කරා. ඔන්න ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙ පොලීසිය. ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීම් බොහොම සැලසුම් සහගතව කරපු ඒව බව තහවුරුයි.
අන්තිමේදි දේශබන්දු තෙන්නකෝන් කරපු තර්ජනයේ අර්ථය අපිට තේරුනා බන්ධනාගාරය තුළදි. නිරෝධායනය කරන්න කියල මමයි, චමීර සහ අමිල සහෝදරවරු බදුල්ලෙ තල්දෙන බන්ධනාගාරයට අරන් ගියා. නිරෝධායන මධ්‍යස්ථානයක් කියපු තල්දෙන බන්ධනාගාරයේ අපිත් එක්ක කිටි කිටියේ තද වෙලා එකම වාට්ටුවක ඔක්කොම පිරිස 180 ක් විතර හිටියා. නමුත් ඉඩ තිබ්බෙ හැටකට විතර ඉන්න. අන්තිමේදි නිරෝගීව ඇතුළට ආපු අපි මේ ඊනියා නිරෝධායන මධ්‍යස්ථානයේදී කොවිඩ් රෝගීන් බවට පත් වුණා. අපිට කොවිඩ් බෝ කරා. හැටක් ඉන්න පුළුවන් තැනක දෙසීයකට ආසන්න පිරිසක් දාලා හිර කරලා හිටියම වසංගතයක් පැතිරෙන එක වළක්වන්නෙ කොහොමද? මේ එකසිය අසූවෙන් අපිත් ඇතුළුව එකසිය විස්සකට අගෝ. 22 විතර පී.සී.ආර් කරා. ඒකෙන් අසූ ගාණක් පොසිටිව්. මුලින් ප්‍රතිකාර මොකවත් ලබාදුන්නෙත් නෑ. ඔහේ ඉන්නං වාලෙ ඉන්න වුනා. මාස්ක් එකක්වත් නැතුව. අන්තිමේදි අපි තුන්දෙනා විතරක් ප්‍රතිකාර කරන්න කියලා මඩකලපුවේ ඉයක්කච්චි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට අරගෙන ගියා. ඒක වුණෙත් එළියෙ ඉඳන් අපේ සහෝදරවරු, ආචාර්යවරු, වෘත්තීය සමිති නගපු හඬ නිසා. ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි, සටන් ක්‍රියාමාර්ග හරහා එළියෙන් ආණ්ඩුවට කරපු බලපෑම් නිසා අපි තුන්දෙනාව ප්‍රතිකාර කරන්න අරගෙන ගියා. එතකොට අපිත් එක්ක එකට හිටපු අනිත් මිනිස්සු? ඒ මිනිස්සු නෙමෙයි ද? එයාලට ප්‍රතිකාර ඕනි නැද්ද? අපි දන්නෑ ඔවුන්ට සිද්ධ වුණේ මොකක්ද කියලවත්. සමහරවිට ජීවිතත් නැතිවෙන්න ඇති. මේක මිනී මරන අලුත් ක්‍රමයක්. වසංගතේ තියෙනකම් ආණ්ඩුවට බන්ධනාගාර රැඳවියෝ ආයෙත් ආයුධ පෙන්නන්න අරගෙන යන්න ඕනි නෑ. එක වෛද්‍ය වාර්තාවක් ඇති.
ඉයක්කච්චිවල අපිව තියාගත්තෙ සතියයි. ඊට පස්සෙ ආයෙත් CRP බන්ධනාගාරයට ගෙනාවා. ලෝකෙ අනිත් රටවල් වසංගතය එද්දි බන්ධනාගාර හිස් කරා. ජීවිත ආරක්ෂා කරගන්න රැඳවියන් නිදහස් කරා. ඒකට අපේ රටේ. CRP බන්ධනාගාරයේ 100ක් දාන්න පුළුවන් වාට්ටුවක දෙසීයක් විතර ගාල් කරලා තියෙනවා. පැත්ත හරවලා එකිනෙකාට හේත්තු කරවලා සැමන් පැක් කරනවා වගේ රෑට නිදි කරවන්නෙ. වැසිකිළිය උඩත් ලෑල්ලක් තියලා දෙන්නෙක් නිදාගන්නවා. මිනිස්සු මෙහෙම කූඩු කරගෙන ඉන්නෙ මොකටද? සමහරු ඉන්නවා රුපියල් දාහක දෙදාහක දඩයක් ගෙවාගන්න බැරුව රිමාන්ඩ් වෙලා. අපේ තාත්තලා, සීයලා වගේ වයසක මිනිස්සු මේක ඇතුළෙ මාස්ක් එකක්වත් නැතුව, කිසිම ආරක්ෂාවක් නැතුව ගාල් කරගෙන ඉන්නවා. වසංගතය ආපු අලුත මහර බන්ධනාගාරයේ රැඳවියෝ පී.සී.ආර් කරන්න කියල උද්ඝෝෂණය කරේ නිකම් නෙමෙයි. මේව අස්සෙ බලාගෙන ඉද්දි ජීවිත පරවෙලා යනවා. බන්ධනාගාර රෝහලේ ඉඩකඩ නෑ. මේකට නම් රෝහලක් කියල කියන්නවත් බෑ. ලොකු ලොක්කොන්ට විතරක් උපරිම සැපට වෙනම කාමරවල ටීවී, රේඩියෝ තියාගෙන ඒක අස්සෙ ඉන්න පුළුවන්. සාමාන්‍ය පංතියේ මිනිස්සුන්ට පැන්ඩෝල් පෙත්තක් දෙන්නෙත් දහ අතේ බැණ අඬගහලා. මෙහෙම කරන්නෙ මොකටද? මේ බන්ධනාගාරෙ ඉන්නෙ රිමාන්ඩ් කරපු සැකකරුවෝ. තවම වැරදිකරුවන් නොවුණු අය. අපි දැක්කා පහුගිය දවස්වල වැරදිකරුවො වෙච්ච, මරණ දණ්ඩණය පවා නියම වෙලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහාපරිමාණ ජාවාරම්කාරයෝ ජනාධිපති සමාවෙන් නිදහස් වෙලා ගියපු හැටි.
මේ රටේ නීති දෙකක් තියෙනවා. ‘එක රටක් එක නීතියක්’ කිව්වෙ ආණ්ඩුවේ ඡන්ද කැම්පේන් එකට විතරයි. මහපොළොවෙදි රාජපක්ෂලාටයි, රාජපක්ෂලාගෙ සට්ටම්බිලාටයි එක නීතියක්. සාමාන්‍ය පංතියේ මිනිස්සුන්ට තව නීතියක්. ඊයෙ පෙරේදා බැසිල් රාජපක්ෂ, වසන්ත කරන්නාගොඩ අධි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරා. නීතිපතිගෙ මැදිහත්වීමෙන්. ඒ මිනීමරු චෝදනා තියෙද්දි. කෝටි ගණන් ජනතා දේපොල කොල්ලකාපු, හොරාකාපු චෝදනා තියෙද්දි. තමන්ගෙ අම්ම තාත්තගෙ සොහොන හදන්න මහජන මුදල් මිලියන ගණනක් වැය කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මුක්තිය යටතේ නඩුවෙන් නිදහස් වුණා. ලලිත්, කූගන් දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා ඝාතනය කිරීමට අදාළව අධිකරණයේ විභාග වෙමින් තිබුණු නඩුවෙන් ජනාධිපති මුක්තිය කියලා ගෝඨාභය රාජපක්ෂ නිදහස් වුණා. ජනක, සිසිත ඝාතන නඩුවෙන් මේ චූදිතයෝ නිදහස් වුණා. අපි දැක්කා මෑතකාලීනව මේ වගේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරා කාපු, මිනී මරපු, පැහැරගැනීම් – අතුරුදහන් කිරීම් සිදු කරපු මහාපරිමාණ අපරාධකාරයෝ නඩුවලින් නිදොස් කොට නිදහස් කරන හැටි.
අපි මොකක්ද කරේ? හොඳම විහිළුව කියන්නෙ දිවි නැගුම සල්ලි හොරා නිදොස් කොට නිදහස් වෙද්දි අපි පස් දෙනෙක් මාස තුනක් තිස්සෙ හිරකරගෙන ඉන්නෙ පොදු දේපල පනත යටතෙ චෝදනා ගොනු කරලා. පොදු දේපල! පාර්ලිමේන්තු පිවිසුම ළඟ තිබ්බ විරෝධතාවෙදි කාඩ්බෝඩ් මිනී පෙට්ටි ආකෘතියකට ගිනි තැබීම තමයි චෝදනාව. ඒකෙන් පාරට එක්ලක්ෂ හැත්තදාහක හානියක් වුනාලු. බැරියර් තල්ලු කරපු නිසා ඒවට තිස්දාහක හානියක් වුනාලු. අර තඩි යකඩ බැරියර් මිනිහෙක්ගෙ අතකින් තල්ලු කරාම ඒවට හානි වෙන්නෙ කොහොමද ? වාහනයක් ගිනි ගත්තත් එතරම් හානි වෙන්නෙ නැති පාරක කාඩ්බෝඩ් පෙට්ටියක් ගිනි තිබ්බම මේ තරම් හානියක් වුනේ කොහොමද? පාර්ලිමේන්තුවට යන පාර හැදුවෙ කාඩ්බෝඩ් එකක් ගිනිගත්තමත් විනාශ වෙලා යන විදිහටද? කොහොමහරි කඩුවෙල උසාවිය දිගින් දිගටම කාඩ්බෝඩ් පෙට්ටියක් පිළිස්සීමේ අලාභය පිරිමහගන්න අපිව හිරගත කරගෙන ඉන්නවා. දේශබන්දු තෙන්නකෝන් දුරකතයෙන් කියපු දේවලුයි, සරත් වීරසේකර ජෝශප් ස්ටාර්ලිං සහෝදරයා අත්තඩංගුවට ගත්ත විදිහ ගැන මාධ්‍ය ඉස්සරහා පාරම්බාපු විදිහයි අපිට නඩු දිනයට අනිවාර්යයෙන්ම මතකයට එනවා. සමහරවිට දේශබන්දු තෙන්නකෝන් කියපු විදිහට ‘හොඳටම කෙලවන්නෙ’ මෙහෙම වෙන්න ඇති.
පහුගිය ආණ්ඩුව කාලෙ සයිටම් අරගලය ජයග්‍රහණය දක්වා මෙහෙයවලා ශිෂ්‍ය ව්‍යාපාරය සමාජයට ජයග්‍රහණය ගැන ආශ්වාදයක් ලබාදුන්නා. සටන් කරල ජයගන්න පුළුවන් කියලා සියලු සටන් කරන බලවේගවලට බලාපොරොත්තුවක් දෙන්න සමත් වුණා. වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 69 ලක්ෂයක් ඡන්ද අරගෙන, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තහවුරු කරගෙන, 19 අහෝසි කරලා 20 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන, ජනාධිපතිවරයා අතට සියලු බලය මධ්‍යගත කරගෙන ඉන්න ආණ්ඩුවක්. ඒ නිසා ආණ්ඩුව වැඩ කරේ තමන්ට කරන්න බැරි දෙයක් නෑ කියලා හිතාගෙන. නමුත් කොතලාවල පනතට එරෙහි අරගලයට නායකත්වය දීලා, තාවකාලිකව හරි පනත ඉල්ලා අස්කරගන්න තැනකට ආණ්ඩුව තල්ලු කරන්න ශිෂ්‍ය ව්‍යාපාරය සමත් වුණා. ඉතාම නිවැරදි සටන් පාඨ වගේම නිවැරදි දේශපාලන නායකත්වයක් වටා සියලු බලවේග ඒකරාශී කරගත්තා. ආණ්ඩුව නැවත වටයකින් කොතලාවල පනත අරගෙන එයි. හැබැයි අපි ඒක සම්මත කරගන්න නම් ඉඩ දෙන්නෙ නෑ. අන්න ඒ නිසා තමයි ශිෂ්‍ය ව්‍යාපාරය පොඩිපට්ටම් කිරීමේ තදියම් උවමනාවක් ආණ්ඩුවට ඇවිල්ලා තියෙන්නෙ. සටන් කරලා ජයගන්න පුළුවන් කියන විශ්වාසය, ආශ්වාදය සමාජය තුළ ගොඩනගන්න සමත් වෙච්ච, අනෙකුත් බොහෝ අරගල අවුලවාලන්න සමත් වෙච්ච ශිෂ්‍ය ව්‍යාපාරය මහපොළොවෙන් අතුගාලා දාන්න ආණ්ඩුවට ඕනි වෙලා. අපිව සිරගත කරලා මාස ගණන් තියාගෙන ඉන්නෙත්, සිසුජන ව්‍යාපාරය එක්ක අත්වැල් බැඳගත්ත අනෙකුත් සහෝදරවරු, සහෝදරියො පිටිපස්සෙ රැයක් දවාලක් නැතුව ලුහුබඳිනනෙත් ඒ නිසා.
කොතලාවල පනතට එරෙහි අරගලයට සමාන්තරවම පැන නැගුණු අනෙක් ප්‍රබලම අරගලය තමයි ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලය. ගුරු විදුහල්පති අරගලයේ ජයග්‍රහණය මේ මොහොතේ සමාජයට අත්‍යවශ්‍යයි. සටන් කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් කියන තහවුරුව සමාජයට තව තවත් ලබාදිය යුතුයි. ඒ නිසා විශාල සටන්කාමීත්වයක්, විශාල සහභාගීත්වයක් තියෙන ගුරු විදුහල්පති අරගලය අවසන් ජයග්‍රහණයක් දක්වා රැගෙන යාමට ශිෂ්‍ය ව්‍යාපාරය කොන්දේසි විරහිතව සහයෝගව ලබාදෙනවා. කොතලාවල පනතට එරෙහි අරගලය, ගුරු විදුහල්පති අරගලය, මර්දනයට එරෙහි අරගලය ඇතුළු අයිතීන් වෙනුවෙන් කෙරෙන සියලු ජනතා අරගල ජයග්‍රහණය දක්වා මෙහෙයවමු. ඒ සඳහා එකතු වෙමු. සංවිධානය වෙමු. උපරිම ශක්තිය මුහු කරමින් ජයග්‍රහණයේ ආශ්වාදය සමාජයේ තහවුරු කරමු. ජය!
මම,
වසන්ත මුදලිගේ,
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට
Leave a Reply