Breaking News

රනිල්ගෙන් රජයේ සේවකයන්ට ‘කැරට්’

සියලුම රාජ්‍ය සේවකයන් ආවරණය වන පරිදි වැටුප් වැඩි කිරීමට ඇමති මණ්ඩලය ඊයේ (12) තීරණය කළ බවට ආණ්ඩුව ප්‍රචාරයක් ගෙන යමින් සිටී.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ යෝජනාවක් ඉදිරිපත් කළ බවත්, කැබිනට් මණ්ඩලය එය අනුමත කළ බවත් එම ප්‍රචාරවලින් දැක්වේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම් තීරණය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාවක් අනුව මෙම කැබිනට් යෝජනාව සම්මත කර ගත් බව දක්වා ඇති අතර 2025 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැය මගින් අදාළ වැඩි කිරීම් කරන බව වැඩි දුරටත් දැක්වේ.

අදාළ විශේෂඥ කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ පහත දැක්වේ.

  • සමස්ත රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 4ක් යටතේ වර්ගීකරණය කර, එක් එක් කාණ්ඩය ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතාවය (NVQ) පදනම් කරගනිමින් හා අදාළ රැකියා කාර්යභාරය, වගකීම් හා විශේෂ රැකියා සඳහා නිපුණත්වයකින් යුත් සේවකයින් ආකර්ෂණය කරගැනීම හා රැකියාවන්හි රඳවා ගැනීම සැලකිල්ලට ගෙන බඳවා ගැනීමේ සුදුසුකම් අනුකාණ්ඩවලට වර්ගීකරණය කිරීම.

  • ප්‍රාථමික සේවා කාණ්ඩ සඳහා ද බදවා ගැනීමේ මුලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය, ජාතික වෘත්තීය නිපුණතාව පදනම්ව සේවා අවශ්‍යතාව පරිදි සුදුසු තෝරා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීම.

*අනෙකුත් සියලුම සේවා කාණ්ඩ සඳහා විධිමත් තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මඟින් පමණක් බඳවා ගැනීම.

*ඒ අනුව යෝග්‍ය පරිදි දැනට පවතින අනුමත බඳවාගැනීමේ පටිපාටි කඩිනමින් සංශෝධනය කිරීම.

  • 2025 පාදක වසර ලෙස සලකා ජීවන වියදම් දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැලපීම් හා මේ වනවිටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට, සියලුම රාජ්‍ය සේවකයින් සඳහා (සෑම වසර 3කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25,000ක් ගෙවීම.

  • රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කොට, ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රුපියල් 55,000ක් ලෙස ගෙන, අනෙකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගැලපීම.

  • ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම.

*2030 වනවිට රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය ලක්ෂ දහයක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියා කිරීම.

  • ඒ අනුව 2025 සිට වසර 3ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය තුළින් ඉලෙක්ට්‍රොනික පද්ධති මඟින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම හා ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාවය ලබාදීම.

*හැකි සෑම අවස්ථාවකදීම බාහිර සේවා වැනි ක්‍රමවේද මඟින් රජයේ වැය බර අවම වන ලෙස කාර්යක්ෂමතාව උපරිම වන පරිදි නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා ලබාගැනීම.

  • හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු / සංස්ථා / ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙ‍ෙළඳපොළෙහි ලැයිස්තුගත සිමීත පොදු සමාගම් බවට පත්කිරීමේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

*නිසි වැඩ අධ්‍යයනයක් සිදුකොට සමස්ත රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලවල හා සේවා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා 2025 වසර තුළ කටයුතු කිරීම.

  • ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයින් සඳහා කාර්යසාධක දර්ශක සකස් කොට, එහි ප්‍රගතිය පදනම් කරගනිමින් වැටුප් වර්ධක ලබාදීම.

*2020 වසරට පෙර විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරීන් හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීම.

  • විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව, සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි මස සිට ලබාදීම.

  • දැනට පවතින බදු ප්‍රතිපත්තිය තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025.01.01 දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශ ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීම.

leave a reply