Breaking News

දුමින්ද සිල්වාගෙන් අවසන් නොවන බන්ධනාගාර රෝහල් පිළිබඳ ප්‍රශ්නය 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යවා තිබීම සම්බන්ධ බොහෝ දෙනෙක් සතුට ප්‍රකාශ කරමින් සිටියි.

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහල අවභාවිතා කරන බවට චෝදනා රැසක් එල්ලවූ බැවින් පසුගියදා ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබුණි.

නමුත් සිරකරු අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන පිරිස් පවසන්නේ බන්ධනාගාර රෝහල් කටයුතු කරන ආකාරය සම්බන්ධ විශාල ප්‍රශ්නයක් පවතින බවයි. එය දුමින්ද සිල්වා සිරමදිරියකට මාරු කිරීමෙන් පමණක් නොවිසදෙන බවයි.

බන්ධනාගාර රෝහල්වලින් ප්‍රතිකාර ලබන රැදවියන් හට ප්‍රතිකාර කිරීමට ඇතැම් රෝහල් වෛද්‍යවරු රුපියල් ලක්ෂ තුනක සිට ඉහළ මුදලක් අය කරන ජාවාරමක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ලේකම් නීතීඥ සේනක පෙරේරා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

කොළඹ දී අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු සඳහන් කළේ මෙය බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් සිදුකරන මහාපරිමාන මානව හිමිකම් උල්ලංඝනයක් බවයි.

එහිදී සිදුවන්නේ රැඳවියන් හට ප්‍රතිකාර සිදුකිරීමට නම් අදාළ වෛද්‍යවරයාගේ බැංකු ගිණුමට ඊට අදාළ මුදල තැන්පත් කරන ලෙසට රැදවියාගේ ඥාතීන්ට එම වෛද්‍යවරුන් දැනුම්දීමක් සිදුකරන බව නීතිඥ සේනක පෙරේරා පෙන්වා දෙයි.

මීට ආසන්නම සිදුවීමක් ලෙස කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට ගාල්ල බූස්ස බන්ධනාගාරයට හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා මාරුකර යැවු රැඳවියෙක්ට ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ තුනක් ලබා දෙන ලෙස ඥාතින්ට එහි වෛද්‍යවරයෙක් දන්වා ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් සේනක පෙරේරා පවසයි.

ඒ අනුව එම රැදවියාගේ ඥාතින් රුපියල් ලක්ෂ තුනක මුදල අදාළ වෛද්‍යවරයාගේ බැංකු ගිණුමට බැරකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් හඩපට බැංකු වාර්තා හා සෙසු තොරතුරු අදාළ සිරකරුවාගේ ඥාතින් සතුව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

අදාළ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගි රැඳවියන් මෙලෙස මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළෙහොත් එම රැඳවියාට කිසිදු ප්‍රතිකාරයක් සිදුනොකරන තත්ත්වයක්ද උදා වී ඇති බවද සේනක පෙරේරා මාධ්‍ය අමතමින් සදහන් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මේ සම්බන්ධයෙන් විධිමත් පිරික්ෂණයක් සිදු කළ යුතු බවත් බන්ධනාගාර ‍මාධ්‍ය ප්‍රකාශකයා මෙම මහා පරිමාන මුදල් ගසා කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රටට ප්‍රකාශයක් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

leave a reply