සංඝරත්නයේ ආශිර්වාදය සහිතව කළු පාලනය බිඳ දැමීම

සමාජය දැවැන්ත විනාශයකට ඇඳ දමා තිබෙන කළු පාලනය අවසන් කිරීමට සහ එය නැවත නැවත ඇතිවීම වැළක්වීමට මෙන්ම යහපත් රාජ්‍යක් ගොඩනැගීමේදී ද බෞද්ධ භික්ෂුන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමට සූදානම් බව අනුර කුමාර දිසානායක පවසා තිබේ.

ජනාධිපතිවරයා කළු පාලනය ලෙස හඳුන්වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය සමඟ සමාජය පත්වී ඇති තත්ත්වයයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් පසුගියදා (03) මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ පැවති පූජෝත්සවය අමතමිනි.

”මේ සමාජය යහපත් කිරීමට නම් කළු පාලනය අවසන් කළ යුතුයි. ඒ සඳහා අපි රජයක් ලෙස අපේ කාර්යභාරය ඉතාමත් ශක්තිමත්ව ඉටු කරනවා. හැබැයි, නැවත නැවත ඇති වන එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සමාජය පවිත්‍රකරණය සහ නව පුනරුදයකට සමාජය කැඳවාගෙන යාමේදී අපේ මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒ නිසා මේ සමාජය යහපත් කරන කාර්යයේදී අපේ නායක ස්වාමින් වහන්සේගේ උපදෙස්, ඔවදන් ඉතාමත් වැදගත් වෙනවා. ”

”මීට වඩා යහපත් රාජ්‍යයක් ගොඩනැගීමේ සිහිනයක් අපිට තිබෙනවා. ඒ සිහිනය ඉටු කර ගත හැක්කේ පාලක කණ්ඩායම ලෙස අපි අපට පැවරී තිබෙන කාර්යභාරය නිසි ලෙස හඳුනාගෙන කටයුතු කිරීමෙන්. එහි විශාල පංගුවක් අපේ මහා නායක ස්වාමින් වහන්සේලාට පැවරී තිබෙනවා.”

බොහෝ පිරිසකගේ අවධානය ලබාගත් කරුණක් වූවේ ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ සිට සියලු දේවල් සඳහා මහා සංඝරත්නයේ අවවාද අනුශාසන පිළිගන්න බවට දිගින් දිගටම අවධාරණය කිරීමයි.

LGBTIQ ප්‍රජාව නියෝජනය කරන සංචාරකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මේ දිනවල ආගමික නායකයන් වෙතින් ආණ්ඩුවට එල්ල වෙමින් තිබෙන චෝදනා සම්බන්ධයෙන් ද අනුර කුමාර දිසානායක පිළිතුරු දෙනු මෙහිදී දැකිය හැකිවිය. ඔහු පැවසුවේ එවැනි දේවල් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ප්‍රවර්ධනය නොකරන බවයි. මෙය ආගමික නායකයන් සිටින උත්සවයකදී පැවසීමද විශේෂත්වයකි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...