Breaking News

මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ උත්සාහයට මධ්‍යම පරිසර අධිකාරියේත් සහාය

මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගමට මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී ඇත.

ඒ සඳහා සලකා බැලිය යුතු කරුණු සහිත ලිපිය මධ්‍යම පරිසර අධිකාරි‍යේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහගේ අත්සනින් යුතුව මැල්වත්ත ප්‍රොපටීස් පෞද්ගලික සමාගම වෙත පසුගියදා යවා තිබේ.

ඒ පිළිබඳ විරෝධතා නොමැති බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යැවීමෙන් පසු මෙසේ අවසර ලබා දී ඇත.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය ආයතන 16 ක් මගින් කරන ලද විපරම්වලින් පසුව මෙසේ අවසර ලබා දී ඇතැයි පැවැසේ.

මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගමට හිමි සින්නක්කර ඉඩම් අක්කර 600ක මෙම හෝටල් සංකීර්ණය ඉදිකෙරන අතර ඊට යාබද මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් කොටස් කිහිපයක් ද ඒ සඳහා යොදා ගන්නා බව පැවසේ.

ඉදිරි මාස හතර ඇතුළත පාරිසරික අධ්‍යයන වාර්තාව සකස් කර ඉදිරිපත් කරන බව එම සමාගම කියයි.

මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් වනසා දැමීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගම උත්සාහ දරමින් සිටියේ අදක ඊයෙක සිට නොවේ. මීට පෙරද විවිධ අවස්ථාවලදී මෙම තෙත් බිම ගොඩ කරමින් විවිධ ඉදිකිරීම් සිදුකිරීමට මෙම සමාගම උත්සාහ කරන ලදී. එහි පළමු සැලසුම වූවේ පසුගිය 2018 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක භූමි ප‍්‍රදේශයක් ගොඩ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දීමයි. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් අනුමැතිය ලබා දීමට එරෙහිව පරිසරවේදීන් සිදුකළ අරගලයක ප්‍රතිපලයක් ලෙස එය වැළකුණි. නැවතත් මේ වසරේදී මේ වසරේ ජුනි මාසයේ දී මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට අයත් ජා – ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වෑවල ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි අට්ටික්කගහවත්ත කුඹුරට හා වැටකෙයාගහ කුඹුරට යාව පිහිටි තෙත් බිම් අක්කර 50 ක් ගොඩ කිරීම සඳහා මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගම සූදානම් විය. එම උත්සාහයද තාවකාලිකව අවහිර කිරීමට පරිසරවේදීන්ට හැකි විය. නමුත් දැන් පෙනී යන ආකාරයට නැවතත් මැල්වත්ත සමාගම තෙත් බිම විනාශ කිරීමේ සැලසුමට අතගසමින් සිටියි.

කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර විසින් මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සැලසුම් පිළිබඳ කරන ලද හෙළිදරව්ව

 

leave a reply