Breaking News

ගෑස් අර්බුදයට තවමත් විසඳුම් නැහැ – ලාභය වෙනුවෙන් බාල ගෑස් රට තුළට පැමිණීමේ අවදානමක්

ආණ්ඩුව ගෑස් අර්බුදය සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් ලබා නොදෙන තත්ත්වයක් තුළ රට තුළට නැවතත් ප්‍රමිතියෙන් තොර පැමිණීමේ අවදානමක් මතුව තිබේ.

ප්‍රමිතිය පිළිබඳ ගැටලුව හේතුවෙන් ගොඩබෑම අත්හිටවූ ගෑස් සම්බන්ධයෙන් නැවත තත්ව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 6400ක් ගබඩා කර ඇති නැව් දෙකක ගෑස් ප්‍රමිතියෙන් තොර යැයි තීරණය කරමින් පාරිභෝගික අධිකාරිය ඒවා ගොඩබෑම අත්හිටුවීය.

මෙම තීරණයත් සමග අදාල නෞකා දෙක මේ වන විට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංගුරම්ලා තිබෙන අතර එම ගෑස් තොගය නිදහස් කර ගැනීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ගෑස්වල සුවඳ වහනය වීමට යොදන ‘එතිල් මර්කැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට අදාල නෞකා දෙකේ ඇති ගෑස්වල අඩංගු වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වීමෙන් මෙසේ ගොඩබෑම අත්හිටුවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය උසස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව අද (16) පස්වරුවේ කළ විමසුමකදී පවසා ඇත්තේ අදාල නෞකා දෙකේ ගෑස් එම ආයතනයේ මැදිහත්වීමෙන් පරික්ෂා නොකළ බවත් තම ආයතනයේ සාමාජිකයෙකු ඒකාබද්ධ විශේෂ තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය දැරීම පමණක් සිදුකළ බවත්ය.

මෙම නැව් දෙක වාරයේ සිරවී ඇති තත්ත්වය තුළ රට පුරා නැවත ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් ප්‍රකාශ කරමින් සිටියි.

පසුගියදා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ ප්‍රමිතියට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් පාරිභෝගිකයා වෙත බෙදාහැරීම සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දෙසැම්බර් 15දා අභියාචනාධිකරණය වෙත දැනුම් දී තිබුණි. අනාරක්ෂිත ලෙස ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් සහ ඊට වගකිව යුතු රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් නාගානන්ද කොඩිතුවක්කු අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කොට තිබුණි. එකී පෙත්සම අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හර්ෂ අමරසූරිය මේ බව අධිකරණයට දැනුම් දී තිබේ.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නිවැරදි ගෑස් සංයුතිය පිළිබඳව නියමිත ප්‍රමිතියක් දැනට නොමැති බවත්, එහි තිබිය යුතු සංයුතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ලබන 20දා පැවැත්වීමට නියමිත බවත් ජනාධිපති නීතිඥවරයා ඉහත සඳහන් නඩුවේදී වැඩිදුරටත් පැවසීය. ඒ අනුව දැනට ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳපොළ වෙත මුදාහරිමින් තිබෙන බවද ඔහු පැවසීය. හදිස්සියේ රැස්වී තීරණය කළ යුතු දේ ප්‍රමිති කාර්‍යාංශය එලබෙන 20 දක්වා කල් දැමීමෙන් පෙන්වන්නේ මෙම ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් බලධාරීන් දක්වන උනන්දුවෙ තරමයි.

ප්‍රමිතියෙන් යුතු ගෑස් ලබාදෙන බව පැවසුනත් ඊයේ පොලිස් දෙපාර්තමේන්තුව පවසා තිබුණේ පසුගිය නොවැම්බර් පළවෙනිදා සිට රට තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 727 ක් වාර්තා වී ඇති අතර පසුගිය 15දා පෙරවරු 6න් අවසන් වූ පැය 24 ක කාලය තුළ පමණක් ගෑස් පිපිරීම් 24 ක් වාර්තා වී ඇති බවයි.

එපමණක් නොව දැනට ගොඩබෑම තහනම් කර ඇති නැව් දෙකේ ඇති ගෑස් ප්‍රමිතියෙන් තොරවීම හරහා සහ ඒවා සම්බන්ධයෙන් නැවත පරික්ෂා කරන ලෙස ලිට්‍රෝ සමාගම ඉල්ලා සිටින්නේ අධිකරණයේ ලබාදුන් පොරොන්දු පුස්සක් විය හැකි බවයි.

කෙසේවෙතත් ඉදිරියේදී මෙම සමාගම් ලාභය වෙනුවෙන් ප්‍රමිතියෙන් තොර ගෑස් ප්‍රමිතියෙන් යුතු ඒවා බව පරීක්ෂණ හරහා ඔප්පු කිරීම වුවද සිදුවිය හැක්කකි.

 

leave a reply