Breaking News

‘යුක්තිය‘ – 2020 ඇල්ලූ දේපොළම යළිත් අල්ලලා

තරිඳු ජයවර්ධන

ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල දියත් කර ඇති ‘යුක්තිය‘නම් අයුක්ති සහගත මෙහෙයුම යම් යටි අරමුණක් සහිතව කරන රංගනයක්ද යන්න ගැන සැක උපදවන ආකාරයේ තොරතුරු මේ වන විට දිගහැරෙමින් තිබේ. පොලිසියේ මෙම මෙහෙයුමේදි නීතිය උල්ලංඝණය කරමින් බරපතල වැරදි ගණනාවක් සිදු කර තිබෙන බව මේ වන විට අනාවරණය වෙමින් ඇති අතර අදාල මෙහෙයුම ඊයේ රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබිණි. මෙම ලිපිය යුක්තිය කෙළෙසන ‘යුක්තිය‘ මෙහෙයුම ගැනයි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය
ශ්‍රී ලංකාව යනු ශ්‍රීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය ප්‍රචාරය වූ පමණක් නොව ලෝකයේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වී ඇත්ද යන්න පවා සැක කරන කරුණු මීට වසර ගණනකට පෙර සිට වාර්තා වන්නට විය. හෙරොයින්, කොකේන් කිලෝ ගණනින් වරින් වර අත්අඩංගුවට ගැණිනි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ‘මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ අත්පොත 2023‘ ප්‍රකාශනය අනුව 2022 වසරේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගල සංඛ්‍යාව 152,979කි. එයින් 45.6%ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් වැරදි සම්බන්ධයෙන් බව එම වාර්තාවේ සඳහන් වේ. හෙරොයින් සම්බන්ධයෙන් එම වසරේ අත්අඩංගුවට පත්වූවන්ගෙන් හතර දෙනෙක් වයස අවුරුදු 14ට අඩු දරුවෝය. 2022 වසරේදී අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1630යි ග්‍රෑම් 102ක් වන අතර හෂීස් කිලෝ තුනකට අධික ප්‍රමාණයක්ද, කොකේන් කිලෝ 368කට අධික ප්‍රමාණයක් ද, ගංජා කිලෝ 17000කට අධික ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තාවල සදහන් වේ.
පසුගිය වසර 05ක කාලයේ දී වැඩිම හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019 වසරේ දීය. ගෙවුණු වසර පහක කාලයේදී විදේශවල සිට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ගණන නව දෙනකි. රජයේ නිල වාර්තාවලට අනුව 2022 වසරේ දී හෙරොයින් ග්‍රෑම් එකක වීදි වටිනාකම රුපියල් 14,000කි. 2022 වසරේ දී මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට පත්වුවන් සංඛ්‍යාව 152,979ක් වුවද මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී ඇත්තේ ඉන් 19,094 දෙනකු පමණි. මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් ගැන එම වාර්තාවල සඳහන් වන්නේ නැත.

මත්ද්‍රව්‍ය, දේශපාලනය, පොලිසිය
මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ සම්බන්ධයෙන්යැයි කියමින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ මාකඳුරේ මදූෂ් නම් සැකකරු ඔහුට සම්බන්ධ දේශපාලනඥයන් සහ පොලිස් නිලධාරීන් 80 දෙනකුගේ පමණ නම් හෙළිදරව් කළ බවට ජනමාධ්‍ය වාර්තා කළේය. එම දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රශ්න කිරීම හෝ සිදු නොවූ අතර එලෙස හෙළිදරව් කළ බව කියන මාකඳුරේ මදූෂ් දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ ඇති කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී ඝාතනය විය.
මදූෂ් හෙළිදරව් කළ නම් ඉල්ලමින් එවකට බීබීසී මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබුණු අතර එම තොරතුරු හෙලි කිරීම රාජ්‍ය ආරක්ෂාවට හෝ එහි භෞමික අඛණ්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් බවත්, එය යම් අපරාධයක් වැළැක්වීම හෝ ඒ පිළිබඳ සොයා ගැනීම හෝ වරදකරුවන් අල්ලා ගැනීමට හෝ නඩු පැවරීමට බලවත් අගතියක් බවත් කියමින් තොරතුරු ලබා දීම ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර තිබිණි.
මදූෂ් අත්අඩංගුවට ගෙන වසර පහකට ආසන්න කාලයක් ගත වී ඇති අතර මදූෂ් මරා දමා වසර තුනක් ගතවී තිබේ. කෙසේ වෙතත් මේ වන තෙක් මදූෂ් නම් හෙළිදරව් කළැයි කී දේශපාලනඥයන්ට හෝ පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුවූයේ නැත.
ඇතැම් සැකකරුවන් පොලිසිය විසින් ඝාතනය කරන්නේ ඔවුන්ගෙන් ඔවුන්ට උදව් කළ දේශපාලනඥයන්ගේ හෝ පොලිස් නිලධාරීන්ගේ හෝ තොරතුරු හෙළිදරව්වීම වැලැක්වීමට යන්න සියලු දෙනා දන්නා රහසක් වී හමාරය. වෙලේ සුදාගේ නම සමගද ඇතැම් දේශපාලනඥයන්ගේ නම් ඈඳුණ ද එම දේශපාලනඥයන් ද අත්අඩංගුවට පත්වූයේ නැත. මත්ද්‍රව්‍ය, පොලිසිය සහ දේශපාලනඥයන් අතර සම්බන්ධතාවය ගැන වෙනම ළිපියකින් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

අලස්ගේ-දේශබන්දුගේ යුක්තිය
‘යුක්තිය නම් මෙහෙයුමක් මගින් පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍යට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළේ පොලිසිය, දේශපාලනඥයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර තිබෙන සම්බන්ධතාවය ගැන දිගින් දිගටම සමාජය ප්‍රශ්න කර ඇති පසුබිමකය.
මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා මෙහෙයුම් කරනවා යැයි ප්‍රසිද්ධ කළ පසු පොලිසියෙන් එනතුරු ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය නිවසේ තබාගෙන සිටින්නේයැයි සිහිකල්පනාවක් ඇත්තෙකුට අනුමාන කළ නොහැකිය. එසේ නම් මෙම වැටලීම ගැන ඇමති සහ වැඩබලන පොලිස්පති කල්තියා ප්‍රසිද්ධියට පත් කළේ කුමන හේතුවක් මතද යන්න බරපතල ගැටලුවක් මතුවී තිබේ. මෙලෙස ප්‍රසිද්ධවීම නිසා ඇතැම් ජාවාරම්කරුවන් ප්‍රදේශවලින් පැන ගොස් ඇති බව ද වැඩ බලන පොලිස්පතිවරයා ජනමාධ්‍ය ඉදිරිපිට ප්‍රකාශ කළේය. ඒ අනුව වැටලීම ගැන කල්තියා ප්‍රසිද්ධ කළේ සැබැලෙසම ජාවාරම්කරුවන්ට පැන යෑමටත්, මත්ද්‍රව්‍ය සැඟවීමටත් පහසුවක් වීම පිණිසද යන්න ගැන මේ වන විට කතා බහට ලක් වෙමින් තිබේ.
කෙසේ වෙතත් ජනමාධ්‍යයද සමග ගොස් ඇතැම් ගෙවල් පීරමින් පොලිසිය මත්ද්‍රව්‍ය සොයන ආකාරයත්, සොයා ගත් ඇතැම් දේපොළ රාජසන්තක කළ බවටත් පසුගිය දින කිහිපයේ ජනමාධ්‍ය දිනපතා වාර්තා කළේය. එහෙත් අල්ලගත් මත්ද්‍රව්‍ය ආනයනකරුවකු හෝ දේශපාලනඥයෙක් හෝ නැත.

වැටලීමට බලපාන නීති

පොලිසියට හෝ වෙනත් විමර්ශන කණ්ඩායමකට හෝ එලෙස ප්‍රදේශයේ හිතුන හිතුන නිවාස පරීක්ෂා කිරීමට හො ජනමාධ්‍ය රැගෙන ගොස් දේපොළ අත්පත් කර ගැනීමට හෝ හැකියාවක් නැත. පොලිසිය ක්‍රියාත්මක කරන්නේ නීතියෙන් නියම කර ඇති කාර්යයක් වන අතර එය නීතියෙන් නියම කර ඇති සීමාවන්ට යටත් විය යුතුය. මෙම වැටලීම මත්ද්‍රව්‍ය වැටලීමක් සහ මත්ද්‍රව්‍යවලින් උපයා ගත්බව කියන දේපොළ සොයා යෑමක් බවට ප්‍රසිද්ධියට පත් කර ඇති බැවින් මෙම වැටලීම්වලට අදාල ප්‍රධාන නීති තුනක් තිබේ. ඒ දණ්ඩ නීති සංග්‍රහය, විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ ආඥාපනත සහ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතයි. ඊට අමතරව 2008 අංක 1 දරණ මාදක ඖෂධ සහ මනෝ වර්තක නීතිවිරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනතද අදාල කර ගත හැකිය.

වරින්වර අවස්ථා 11කලදී පමණ සංශෝධනයට ලක් කළ 1929 අංක 17 දරණ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ ආඥාපනතේ 77 වැනි වගන්තිය අනුව නිවාස ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය වේ. සෝදිසි වරෙන්තුවක් නැතිව නිවසකට/ස්ථානයකට පොලිසියට ඇතුළු විය හැක්කේ යම් සීමිත අවස්ථා කිහිපයකදී පමණි. විශේෂයෙන්ම යම් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ගොස් සෝදිසි වරෙන්තුවක් රැගෙන එන අතරතුර ඔහුගේ නිවසේ ඇති මත්ද්‍රව්‍ය සැඟවීමට කිසිවකුට ඉඩ ඇති වැනි අවස්ථාවක වරෙන්තුවක් නැතිව ස්ථානයකට ඇතුළු විය හැකිය. එසේ නොමැතිව සැකපිට යැයි කියමින් හෝ පොදුවේ සෝදිසි කිරීමට යැයි කියමින් පොලිසියට නිවසකට ඇතුළුවීමට නෛතික අයිතියක් නැත.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ ද යම් ස්ථානයක් පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තු අවශ්‍ය වේ. එසේ නොමැතිව ඇතුළු විය හැක්කේ යම් සීමිත අවස්ථා ගණනකදී පමණකි. ඒ යම් සංඥය වරදක් කළ බවට සැක කිරීමට සාධාරණ හේතු ඇත්නම් එම පුද්ගලයා අදාල නිවසේ සිටින බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති අවස්ථාවක පමණි. මේ බව අනුර බණ්ඩාරනායක එදිරිව පොලිස්පති රාජගුරු නඩුවේදී ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද එල්ලාවල 1997 දී ඝාතනය කළ දිනයේ එම ඝාතනයට සැක කළ සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා අනුර බණ්ඩාරනායකගේ නිවසට පැමිණ සිටින බවට පොලිස්පති ඩබ්ලිව් බී රාජගුරුට ලද තොරතුරකට අනුව යැයි කියමින් අනුර බණ්ඩාරනායකගේ නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කරන ලදී. කෙසේ වෙතත් සැකකරු එම නිවසෙන් සොයා ගැනීමට පොලිසිය අපහොසත් විය. තම නිවස පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අනුර බණ්ඩාරනායක මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහිදී පොලිස්පතිවරයා ඇතුළු පිරිස ප්‍රකාශ කළේ විශ්වාසදායක ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් අනුව නිවස පරීක්ෂා කළ බවයි. එම තොරතුරුකරු වසර 15ක සිට විශ්වාසවන්ත තොරතුරුකරුවකු බව පොලිස්පති කීවේය. කෙසේ වෙතත් ධීරරත්න, වඩුගොඩපිටිය සහ බණ්ඩානායක යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ ඔත්තුකරුවකුගෙන් ලැබෙන හුදු තොරතුරක් අනුව එලෙස නිවාස පරීක්ෂා කිරීම වැරදි බවයි. එලෙස පරීක්ෂා කිරීමට නම් අදාල තොරතුර විශ්වාස කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු විමර්ශන නිලධාරීන්ට තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර පොලිස්පති ඇතුළු නඩුවේ පළමු, දෙවැනි සහ තෙවැනි වගඋත්තරකරුවන්ට පුද්ගලික මුදලින් වන්දි ගෙවීමටද නියෝග කළේය.

එයින්ද පැහැදිලි වන්නේ ‘යුක්තිය‘ මෙහෙයුමෙන් නිවාස පරීක්ෂා කළද එලෙස හිතුමතේ නිවාස පරීක්ෂා කිරීමට පොලිසියට හැකියාවක් නැති බවයි.
මත්ද්‍රව්‍යවලින් උපයාගන්නා මුදලින් ලබා ගත් දේපොළ රාජසන්තක කරන බව කියමින් පසුගිය දින කිහිපයේ යම් යම් දේපොළ පෙන්වමින් ජනමාධ්‍ය ඔස්සේ පොලිසිය විවිධ තොරතුරු ප්‍රසිද්ධියට පත්ළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කළේ එම දේපොල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ කටයුතු කරමින් යන බවයි. 2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 06 වැනි වගන්තියේ සඳහන් කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ වරදක් ගැන තොරතුරු සහ ඊට අදාල පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

‘යුක්තිය‘ මෙයෙමුමෙන් අත්අඩංගුවට ගත් දේපොළ පරීක්ෂා කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට ද ගිය බවට ජනමාධ්‍ය වාර්තා කළ අතර ඔහු එලෙස අත්අඩංගුවට ගත් වාහන පරීක්ෂා කරන ඡායාරූප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුගේ 1597/2023 අංක දරන මාධ්‍ය නිවේදනයෙන් 2023 දෙසැම්බර් 19 වැනිදා සවස 7.00ට ජනමාධ්‍ය වෙත නිකුත් කළේය.

මෙලෙස තොරතුරු ප්‍රසිද්ධ කරමින් පොලිසිය කරන රංගනයෙන් ඇත්ත සැකකරුවන් අත්අඩංගුවට පත්වුවත් ඔවුන්ගේ දේපොළ අත්අඩංගුවට ගත්තත් අනාගතයේදී ඔවුන් නිදහස්වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි බව නීතිඥවරු සඳහන් කරති. ඇතැම් තොරතුරු හෙලිදරව්වීම වැලැක්වීම සඳහා මහේස්ත්‍රාත්වරයකුටවත් ප්‍රකාශ නොකරන බවත්, එසේ තිබියදී මෙලෙස පොලිසිය ජනමාධ්‍ය හරහා තොරතුරු ප්‍රසිද්ධ කිරීම මේ සම්බන්ධයෙන් ඇත්ත විමර්ශනයක් සිදු කරන්නේ නම් බරපතල බාධාවක් බවත් පොලිස් ප්‍රධානීහු සඳහන් කරති.

එසේම මුදල් විශුද්ධිකරණ වරද හා සම්බන්ධ වත්කම් පොලිසියට අවශ්‍ය පරිදි පවරා ගැනීමට හෝ රාජසන්තක කිරීමට හැකියාවක් නැත. පොලිසියට මුලින්ම කළ හැක්කේ දේපොළ ක්‍රියා විරහිත කිරීමට පමණි. එයද කළ හැක්කේ පොලිස් අධිකාරී නිලයට නොඅඩු නිලධාරියකුගේ නියමයක් අනුවය. එයද දළ හැක්කේ අදාල විශුද්ධිකරණ ක්‍රියාව තවදුරටත් කිරීම වැලැක්වීමට අවශ්‍ය යැයි සාධාරණ හේතු තිබේ නම් පමණි. එම නියෝගය දින හතකට පමණක් වලංගු වන අතර එය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් මහාධිකරණයෙන් ඉල්ලීමක් කළ යුතු බව පනතේ සඳහන් වේ. මහාධිකරණයට ද එය තහවුරු කිරීමේ නියෝගයක් ලබා දිය හැක්කේ ප්‍රමාණවත් හේතු පවතිනවා නම් පමණි. පොලිසිය හුදු සැකය මත කරන ඉල්ලීම්වලට හෝ මාධ්‍ය සංදර්ශනවලට පනත මගින් අවසර නැත.

ඉන් අනතුරුව මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු මුදල්විශුද්ධිකරණ චෝදනාවට වරදකරු කරනු ලැබුවහොත් අදාල දේපොළ රාජසන්තක කිරීමේ නියෝගයක් නිකුත් කළ හැකිය. එයද නිකුත් කළ හැක්කේ පනතේ 13.2 වගන්තියේ සඳහන් යම් යම් කොන්දේසිවලට ටයත්වය.
කළින් අත්අඩංගුවට ගත් දේපොළ යලිත් පෙන්නයි

මේ අතර පොලිසිය මෙම වැටලීම් කරන බවට කරන්නේ ව්‍යාජ රංගනයක් බව පෙන්වීමට ඇති තවත් එක් කාරණයක් වන්නේ අත්අඩංගුවට ගත්තායැයි ප්‍රසිද්ධ කරන ඇතැම් දේපොළ මිට පෙරද අත්අඩංගුවට ගත් ඒවා වීමය.

ඉන්දියාවට පලා ගොස් ඇතැයි කියන ජනමාධ්‍ය මගින් ‘ලඩියා‘ ලෙස හැඳින්වෙන පුද්ගලයකුට අයත් සුඛෝපබෝගී බස් රථ දෙකක් ඇතුළු බස් රථ තුනක් ‘යුක්තිය‘ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් බව ජනමාධ්‍ය වාර්තා කළේය. මෙම බස් තුන අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද ඔහුගේ අංක 1607/2023 දරණ මාධ්‍ය නිවේදනය මගින් දෙසැම්බර් 21 වැනිදා රාත්‍රී 9.25ට නිවේදනය කළේය. ජනමාධ්‍යද ඊට ලොකු ප්‍රචාරයක් ලබා දුන්නේය.
කෙසේ වෙතත් ඔහුගේ මෙම බස් රථ තුන පොලිසිය මීට පෙර කළ වැටලීමකදී අතුරුගිරිය පොලිසිය විසින් 2020 සැප්තැම්බර් 13 වැනිදා අත්අඩංගුවට ගත් බස් රථ බවට MediaLK වෙත වාර්තාවේ. එවකට පොලිසිය ප්‍රකාශ කර තිබුණේ මෙම බස් රථ තුන රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ බවයි. එවකට ජනමාධ්‍ය ඊට ද ලොකු ප්‍රචාරයක් ලබා දුන්නේය. කලින් අත්අඩංගුවට ගත් දේපොළ යළිත් අත්අඩංගුවට ගත්තායැයි පෙන්වීම ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්තාහ කළ ද එය අසාර්ථක විය.

පොලිස් නිලධාරීන් බියෙන්
ඇමති-වැඩබලන පොලිස්පති දෙදෙනා කරන මෙම රංගනය නිසා කෙදිනක හෝ තමන් අමුරුවේ වැටෙත්දැයි පොලිස් නිලධාරීහු බියට පත්වී සිටිති. නම හෙළි කිරීමට අකමැති පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ ‘යුක්තිය‘ මෙහෙයුම නිසා පොලිස් නිලධාරීන් හෝ මහජනතාව අපහසුතාවට පත්වන බවට තමා පිළිගන්නා බවයි. ඊට ඇමති සහ වැඩබලන පොලිස්පති වගකිව යුතු බව ඔහු කීවේය.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් බැඳී සිටින්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කිරීමට පමණක් වන අතර ඉහළින් ලැබෙන නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන සෑම නිලධාරියකුම පෞද්ගලිකවමත් සාමූහිකවත් ඊට වගකිව යුතු බව විශ්‍රාමික පොලිස් ප්‍රධානියෙක් MediaLK වෙත ප්‍රකාශ කළේය.

පළාත බලාගන්න බැරි දේශබන්දු රට බැලීම
වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස 2019 දෙසැම්බර් 19 වැනිදා ජාතික පොලිස් කොමිසමෙන් පත් කළ දේශබන්දු තෙන්නකෝන් ඊට ආසන්න දිනකදී බස්නාහිර පළාත භාරව පත් කළේය. ඔහු බස්නාහිර පළාත භාරව කටයුතු කරද්දී පළාතේ වෙඩි තැබීම් රැසක් වාර්තා වූ අතර වෙනත් අපරාධද රැසක් වාර්තා විය. ඔහු නීතිය හා සාමය පළාත තුල රැකීමට අසමත්වූ පොලිස් නිලධාරියකු ලෙස ද හැඳින්විය හැකිය. එසේම නීතිය උල්ලංඝනය කළ නිලධාරියකු ලෙස ද හැදින්විය හැකිය.

ඔහුගේ පළාතේ තිබූ ගෝඨාගෝගම, මයිනාගෝගම සාමකාමී උද්ඝෝෂණ දෙකට මැරයන් පහරදීම වැලැක්වීමට පියවර ගත යුතුව තිබූ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වන ඔහු මැරයන් සමග එක්ව සාමකාමී නිරායුධ විරෝධතාකරුවන්ට පහරදීමට කුමන්ත්‍රණය කළ බවට ද ඔහුට චෝදනා එල්ල විය.
ශ්‍රී ලංකා පොලිසිය මගින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු වලට අනුව 2022 වසරේ බරපතල අපරාධ වැඩිම පළාත බස්නාහිර පළාතයි. එම වසරේ බස්නාහිර පළාතේ සිදු වූ මිනීමැරුම් සංඛ්‍යාව 192කි. සිදුවු පැහැර ගැනීම් සංඛ්‍යාව 108කි. පසුගිය වසරේ බස්නාහිර පළාතේ සිදුවූ බරපතල අපරාධ ගණන 13718කි. ඒ අනුව අපරාධ වලක්වා ගැනීමට ඔහු අසමත්වී තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගේ අදහසයි.
මෙම වසරේ එම තත්ත්වය වඩාත් වැඩිවි ඇතැයි ද පොලිසිය කියයි. පසුගිය මාස කිහිපය තුළ බස්නාහිර පළාතෙන් වෙඩි තැබීම් රැසක් වාර්තා විය. තම පළාත අපරාධවලින් ගලවා ගැනීමට අසමත්වූ පුද්ගලයෙක් රටේම අපරාධ ගැන කතා කිරීම විහිළුවක් බව පොලිස් ප්‍රධානීහු සඳහන් කරති.
එසේම මහජනතාවගේ ප්‍රහාරයට ලක්වූ එකම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද වන්නේ තෙන්නකෝන් ය.

ඇත්ත යුක්තිය
අසාර්ථක පුද්ගලයන් තමන් සාර්ථක යැයි පෙන්වීමට කරන නාට්‍ය නිසා රටේ මහජනතාට සිදුවන්නේ බරපතල පීඩාවකි. එය එක්තරා ආකාරයකට නීතියේ පාලනයෙන් රට ගිලිහීමකි. මෙම ව්‍යාජ මෙහෙයුමට ‘යුක්තිය‘ යැයි නම යෙදුවද ඇත්තටම යුක්තිය යන්නට පුළුල් අර්ථකතනයක් තිබේ. යුක්තියේ විිවධ ස්වරූප ගැන ලෝකයේ කතා බවට ලක්වේ. සාධාරණ නඩු විභාගයකට ඉඩ තැබීම, පෞද්ගලිකත්වය සුරැකීම, දෙපාර්ශ්වයට සවන් දීම, නීතියට අනුව කටයුතු කිරීම ද යුක්තියේ ඇතැම් කොටස් ලෙස සැලකිය හැකිය.
එසේ තිබියදී ‘යුක්තිය‘ නමින් පෞද්ගලිකත්වය නැති කරමින්, නඩු විභාගයක් නැතිව ජනමාධ්‍ය මගින් වැරදිකරුවන් කරමින්, නීතිය නොතකමින් කරන මෙම ක්‍රියාධාමය සම්පූර්ණයෙන් නීතියට පටහැනි, ඇත්ත අපරාධකරුවන් රකින, ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කර බරපතල තත්ත්වයක් සේ සැලකිය හැකිය.

මෙවැනි අවස්ථාවල යුහුසුළුව මැදිහත්වී රටේ පුරවැසියන්ගේ මූුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, රට නීතියේ පාලනයෙන් ගිලිහීමට නොදීමත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ, සිවිල් සංවිධානවල සහ වෘත්තීය සමිතිවල වගකීමකි. එම වගකීම ඉටු කිරීමට ඔවුන් අපහොසත්වුවහොත් මෙම ක්‍රියාධාමය බරපතල අපරාධ රැල්ලකින් කෙළවරවීමට වැඩි ඉඩක් තිබේ.

Media.lk වෙබ් අඩවියේ දෙසැම්බර් 24වනදා පළවූ ලිපියකි

 

leave a reply