Breaking News

කරන්නාගොඩට පක්ෂ අධිකරණ නියෝගය නීතිය ක්‍රියාත්මක වීම ගැන පණිවිඩයක් – දුමින්ද නාගමුව

වසන්ත කරන්නාගොඩට මිනීමැරුම් නඩුවකට වග උත්තරකරුවෙක් වී අභියාචනාධිකරණයට ගොස් ඒ නඩුව අත්හිටුවීමට හැකියාව ඇත්නම් මේ රටේ නීතිය මොකක්ද කියන ප්‍රශ්නය ජනතාව ඉදිරිපිට ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීම සහ ඝාතනය කිරීමට අදාළව මහාධිකරණයේ විභාගවන නඩුව නැවත්වීම සඳහා වසන්ත කරන්නාගොඩ විසින් රීට් ආඥාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ මෙම සිදුවීම හරහා රටේ අධිකරණය, නීති පද්ධතිය, නීතිය ක්‍රියාත්මක ආයතන ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ආකාරය එනම් මේ රැස්වළල්ල ඇතුලේ ජීවත්වන අය අරකෂා කරන්නෙ කොහොමද කියන එක ගැන පණිවිඩයක් ලබාදී ඇති බවයි.

දුමින්ද නාගමුව මෙම සිදුවීම ගැන පළකරන ලද අදහස් පහත දැක්වේ.

“මේ නඩුව ආරම්භ වෙන්නෙ 2008 සිදුවූ තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීම සහ ඔවුන් පසුව ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි. මේ නඩුවේදී 14දෙනෙකු චූදිතයන් බවට පත්වුණා. 14වෙනි චූදිතයා ලෙස ඉන්න වසන්ත කරන්නාගොඩ විරුද්ධව සාක්ෂි දෙකක් ඉදිරිපත්ව තියෙනවා. එම එක සක්ෂිකයක අතුරුදහන් වූ තරුණයෙකුගේ පියෙක් ලබාදුන් සාක්ෂියකට අනුව ත්‍රිකුණාමල කඳවුරේ එක ප්‍රදේශයක් පරික්ෂා නොකිරීම සඳහා කරන්නාගොඩගේ අධිකාරීත්වය ක්‍රියාත්මක වුණා කියන එක. ඒවගේම නාවික හමුදාවේ නීති නිළධාරියාගේ සාක්ෂියට අනුව මේ පැහැරගැනීම ගැන ඔහු එවක යුධ හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩට දැන්වූ බව සඳහන් වෙනවා. වසන්ත කරන්නාගොඩ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ වරෙන්තු පිට හිටියෙ. නමුත් ඔහු අධිකරණයට ගියෙත් නැහැ. ප්‍රසිද්ධ උත්සවවල පවා පෙනී හිටියා. නීතිපතිවරයා විසින් පැහැර ගැනීම, මිනී මැරීම, මිනී මැරීමට දායක වීම යන අධි චෝදනා යටතේ මහ අධිකරණයේ නඩු පවරනවා. මේ වෙලාවේදී වසන්ත කරන්නාගොඩ අභියාචනාධිකරණයට ගිහින් මේ නඩුව නවත්වන්න රීට් ආඥාවක් අරන් තියෙනවා. මිනී මැරුම් චෝදනාව යටතේ පවතින නඩුවක වරෙන්තු නිකුත් කරලා ඉන්න පුද්ගලයෙකුට අභියාචනාධිකරණයට ගිහින් ඒ නඩුව නවත්වන්න කියලා රීට් ආඥාවක් අරගන්න පුළුවන්ද? අධිකරණය වැනි නීතිය ආරක්ෂා කරනවා යයි කියන ආයතන ගැන පැහැදිලි පින්තූරයක් සමාජයට ඉදිරිපත්ව තියෙනවා. සමහර මිනිස්සු මෙවැනි චෝදනා නිසා වසර ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳලා පසුව ඔහු නිර්දෝෂී කියලා ඔප්පු වෙනවා. නමුත් රැස් වළල්ලක් සහිත මිනිස්සුන්ට පුළුවන් මිනීමැරුම් චෝදනා තියෙද්දී ඒ චෝදනාවලට අදාළව උසාවියට ඉදිරිපත් නොවී ඉඳලා වරෙන්තු නිකුත් කරලා තියෙද්දී මහාඅධිකරණයේ ක්‍රියාත්මක වෙමින් තියෙන නඩුවක් නැවත්වීම සඳහා අභියාචනාධිකරණයට ගිහින් රීට් ආඥා ගන්න. මේ රටේ අධිකරණය, නීති පද්ධතිය, නීතිය ක්‍රියාත්මක ආයතන ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද මේ රැස්වළල්ල ඇතුලේ ජීවත්වන අය අරකෂා කරන්නෙ කොහොමද කියන එක ගැන පණිවිඩයක් මේ හරහා දී තිබෙනවා. මිනීමැරුම් නඩුවකට වග උත්තරකරුවෙක් වෙලා ඒ නඩුවත් අත්හිටුවන්න පුලුවන්නම් මේ රටේ නීතිය මොකක්ද කියන ප්‍රශ්නේ ජනතාව ඉස්සරහා තියෙනවා.”

leave a reply