Breaking News

සමාගම්වලට ලාභ ලැබීම වෙනුවෙන් ඉහළ පහළ යන ‘සීනි බදු’

සීනිවලට පනවා තිබූ පාලන මිල පසුගියදා ඉවත්කිරිමත් සමඟ වෙළෙඳපොලේ සීනි මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණි.

සුදු සීනි ලෝකවක මිල අද (22) රුපියල් 360 ත් 370 ත් අතර මිල පැවැති අතර රතු සීනි කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

පිටකොටුව තොග වෙළෙළඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 310 කට අද අළෙවි කළේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ රාත්‍රී අවලංගු කළ ගැසට් නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලොවකට රුපියල් 275 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 330 ක උපරිම සිල්ලර මිලක් ද, පැකට් කළ සුදු සීනි කිලෝවකට රුපියල් 295 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 350 ක උපරිම සිල්ලර මිලක් ද පනවා තිබුණි. නමුත් පාරිභෝගිකයන් පවසා සිටියේ එවැනි මිලකට සීනි මිලදී ගත නොහැකි බවයි.

ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි තොග රජයට පවරාගෙන සතොස ඇතුළු තෝරාගත් වෙළෙඳසැල් හරහා අළෙවි කරන්නේ යැයි වෙළෙඳ අමාත්‍යංශය පැවසුව ද අද පස්වරුව දක්වා එවැනි තොග සතොස ඇතුළු අදාල වෙළෙඳසැල්වලට ලැබී නොතිබුණි.

තවත් නිවේදනයකින් පැවසුනේ පාලන මිලට සීනි කිලෝවක් පමණක් සතොසෙන් ලබාදෙන බවයි.

ආණ්ඩුව විසිනි සීනි සඳහා රුපියල් 50ක බද්දක් පැනවීමට පෙර දින තුනක් තුළදී එකතරා සමාගමක් සීනි ටොන් 8000ක් මෙරටට ආනයනය කර ඇති බව පාරිභෝගික රාජ්‍ය ඇමති නලීන් ප්‍රනාන්දු පවසා තිබුණි. වැටලීම් සිදුකර රජයට පවරා ගන්නා බව පැවසුවේ එම තොගයි. නමුත් සිදුවූ දෙයක් නොමැත.

වසර 2020 ඔක්තෝබර් 13 වැනිදා එවකට ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ නිලධාරියා විසින් නිකුත් කළ ලියැවිල්ලකට අනුව එදින පටන් ක්‍රියාත්මක වන පරිදි සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කීපයක බදු මුදල් අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ක්‍රියාකර තිබිණ. මේ වන විට සුදු සීනි කිලෝවක් හෝ රතු සීනි කිලෝවක් වෙනුවෙන් රජය මගින් පනවන ලද බද්ද රුපියල් 50.25 කි. සීනි බද්ද රුපියල් 50 කින් අඩු කළ විට ඉතිරි වූයේ සත 25 ක් පමණි. එහෙත් මේ භාණ්ඩ අතරින් සීනි බද්ද අඩු කිරීමෙන් සත පහක සුගතියක් ජනතාවට සිදුවුණේ නැත. සීනි බද්ද අඩුකළ සැණින් සීනි ආනයන සමාගම් මසකට සීනි කිලෝග්‍රෑම් 27,823,989 ක් ගේනවා තිබුණි. එය වෙනදා ඔවුන් ගෙන්වූ ප්‍රමාණය මෙන් 1222% ප්‍රමාණයකි. මසකට ඔවුන් ලද සීනි බදු සහනය ඉතා විශාල විය. මේ වංචාවෙන් ආණ්ඩුවට සිදු වූ පාඩුව වන රුපියල් මිලියන 17,681 ක් බවට ගණන් බලා තිබුණි. එම මුදල් මේ වනතුරු අයකරගෙන නැත.

දැන් නැවතත් සිදුවීමට යන්නේ එම සෙල්ලමයි. බදු වැඩිකිරීමට පෙර ගෙන්වන ලද සීනි තොග දැන් වැඩිමිලට විකිණීමට සමාගම්වලට අවස්ථාව හිමිවේ. ආණ්ඩුවට බදු ලැබෙන්නේද නැත. ජනතාවට අඩු මිලට සීනි ලැබෙන්නේ ද නැත.

leave a reply