Breaking News

තිලීපන් සමරුවට එල්ල කල මැර ප්‍රහාරය පොලිස් අනුග්‍රහයෙන්

සැබෑ ප්‍රශ්න යටගසා, ජාතිවාදය අවුස්සන රනිල්ගේ සැලසුම ඊළඟ අදියරට! පොලිස් අනුග්‍රහයෙන් හිංසනය හිස ඔසවයි! ත්‍රිකුණාමලයේදී ප්‍රහාරයක්!
ජාතික කොඩි රැගත් සිංහල ජාතිවාදීන් පිරිසක් පැමිණ ත්‍රිකුණාමලයේ කප්පල්තුරෙයි ප්‍රදේශයේදී ත්‍යාගි තිලීපන්ගේ රූපය රැගත් වාහනයකට සහ ඒ සමග ගමන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසකට පහර දී තිබේ.

පොලීසිය මෙම ජාතිවාදී කණ්ඩායම්වලට සහයෝගය පළ කරන ආකාරයෙන් හැසිරෙන අයුරු වීඩියෝගත වී තිබේ.

ත්‍යාගි තිලීපන් ප්‍රකට වන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කරවාගැනීම, ඉන්දියානු හමුදා මැදිහත්වීම් සහ උතුරේ එකල සිදු වූ සීමාව ඉක්මවූ මිලිටරිමය බලපෑම්වලට එරෙහිව ජීවන පරිත්‍යාගයෙන් සත්‍යග්‍රහයක නිරත වූ තරුණයෙකු ලෙසය. ඔහු 1987 දී ආරම්භ කළ නිරාහාර සත්‍යග්‍රහයක් අවසන් වෙද්දී ජීවිතය අහිමි කර ගත්තේය.

තිලීපන්ගේ මරණ සංවත්සරය සැප්තැම්බර් 26 වැනිදාට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් නැගෙනහිර පළාතේ පොතුවිල් සිට නල්ලූර් දක්වා රථයකින් තිලීපන්ගේ රූපයක් රැගෙන යෑමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. පහරදීම සිදු කර තිබුණේ එයටය.

බොහෝ පුංචි සිදුවීම් පිළිබඳ පවා බුද්ධි අංශ යොදාගනිමින් ඔත්තු බලන, නමුත් මෙම සිදුවීම පිළිබඳ පූර්වයෙන් හඳුනාගෙන එය නැවැත්වීමට පොලීසිය කටයුතු කර නොමැත.

මෑත දිනවල ලියුම්කරු වෙත මූලාශ්‍ර කිහිපයකින් වාර්තා වුණේ, උතුරු- නැගෙනහිර ප්‍‍ෙදේශවල උණුසුම් සහගත ලෙස ආරම්භ කළ ජාතිවාදී ක්‍රියාවලිය හිංසනය දක්වා තල්ලු කිරීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බවය. රනිල් රාජපක්ෂ පාලනය යටතේ පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස් සහ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයා වන සාගල රත්නායක විසින් මෙහෙයවනු ලබන පොලීසිය මෙවැනි ජාතිවාදී හිංසනයට ඉඩ පහසුකම් සලසනු ඇත්තේ 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සාගල රත්නායකගේ නායකත්වයෙන් යුතුව පොලීසිය එයට සරු පස සැකසූ ආකාරයෙන්මය. කොළඹදී හාස්‍ය වැඩසටහනක් කිරීම සහ යූටියුබ් වීඩියෝවක් කිරීම නිසා පුද්ගලයන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවද, සාගල- ටිරාන් පොලීසිය මෙවැනි හිංසනයන් සඳහා ඉදිරියේදී ඉඩ පහසුකම් සලසනු ඇත්තේ, දෙමළ ජනතාවත් මෙයට ප්‍රතිචාර ලෙස වෛරී ක්‍රියාකාරකම් සඳහා පොළඹවමිනි.

මේ මොහොත මෙරට ‘ප්‍රගතිශීලී‘ දේශපාලනයක යෙදෙන සියලු දෙනාවම පරීක්ෂවට ලක් කරනු ලිට්මස් පරීක්ෂාවක් වනු ඇත. මෙම සිදුවීම් සහ ප්‍රවණතා නොදැක්කා සේ සිටිමින්, ඒ ගැන ස්ථාවරයක් ප්‍රකාශ නොකර, හොරගල් අවුලමින් රනිල්ලාගේ සැලසුම්වලට නිදහසේ පෝෂණය වන්නට ඉඩ දෙන පාර්ශ්ව හඳුනාගත හැකි වනු ඇත.

පක්ෂ, වෘත්තිය සමිති, තරුණ සංවිධාන, එකමුතු, බලවේග, ව්‍යාපාර, කවුන්සිල, කව සහ තනි තනි චරිත පවා පරීක්ෂාවට ලක් වනු ඇත. ඔවුන්ගේ ප්‍රතිචාරය බල කෙරෙන මෙවැනි මොහොතවල්වල ප්‍රතිචාර නොදක්වා සිටීමත් ප්‍රතිචාරයක් බව සියල්ලන් මතක තබාගනු යහපත්ය.

1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වාදෙමින් රනිල්ගේ මාමා ආරම්භ කළ ජාතිවාදී රැල්ල, 1983 කළු ජූලිය සහ එය හේතුවක් කරගනිමින් ජවිපෙ තහනම් කිරීම, මිනීමැරුම්, උතුරේ මිලිටරි මෙහෙයුම් සියල්ල හමුවේ ‘ප්‍රගතිශීලී‘ දේශපාලන බලවේගවල ක්‍රියාකාරීත්වය ඉතිහාසයේ ලියැවී හමාරය. දැන් අප සිටින්නේ වර්තමානයේ වන අතර, අවස්ථාවාදී ලෙස ‘ඕවා කතා කරන එක අවදානම්‘ යැයි සිතමින්, මෙවැනි ප්‍රවණතා නොදැක්කා සේ සිටින ‘ප්‍රගතිශීලීන්‘ කවුදැයි බලාගැනීමට අපට හැකි වනු ඇත.

Tharindu Uduwaragedara

leave a reply