රාජ්කුමාරි ඝාතනය – පොලිස් නිලධාරීන් පහරදෙනු දුටු බවට සාක්ෂියක්

පොලිස් අත්අඩංගුවේදී මිය ගිය බව කියන රාජකුමාරි නමැති ගෘහ සේවිකාවට වැලිකඩ පොලීසියේ නිලධාරීන් පහර දෙනු තමන් දුටු බව සාක්ෂිකරුවකු අද (ජුනි 21 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

මෙම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී මහේන්ද්‍රන් සුරේෂ් නැමැත්තෙකු සාක්ෂි ලබාදී තිබේ.
මෙම සාක්ෂිකරු කොළඹ පිහිටි නිවාසවලට ගෘහසේවිකාවන් සම්බන්ධ කර දීමේ කාර්යයේ නිරත වන පුද්ගලයකු බවත් නඩු විභාගයේදී හෙළිවිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් මහේන්ද්‍රන් සුරේෂ් නැමැති සාක්ෂිකරු” දිනක් මම මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක් එක් කරගෙන යාම සඳහා පිටකොටුව ප්‍රධාන බස් නැවතුමට ගියා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනක පැමිණ මගේ අතේ මාංචු දලා වාහනයකට දාගත්තා. පසුව එයාලා මියගිය රාජකුමාරි ගැන විමසුවා. පසුව මම කිව්වා එයා දැන් බොරැල්ල කොටා පාරේ ගෙදරක වැඩ කරනවා කියලා. පසුව මාව එයාලා ඒ ගෙදරට එකක් ගියා. වාහනේ ගිහින් ඒ ගෙදර ගාව නැවතුනා. මම වාහනේ තුළ හිටියා. පොලිස් නිලධාරීන් දෙන්නා ඒ ගෙදරට ගිහින් රාජකුමාරිවත් අරන් ඇවිත් වාහනයට දාගත්තා. පසුව මගේ අතේ දමා තිබූ මාංචු කුට්ටමේ එක් කොනක් රාජකුමාරිගේ අතට දැම්මා. “යනුවෙන් සාක්ෂිකරු සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත.

වාහනයට දමා ගන්නා අවස්ථාවේදී රාජකුමාරි නමැත්තිය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පසුවුණා දැයි, මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙසේ විමසා තිබේ.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පවසා ඇත්තේ “එහෙම අසනීප තත්ත්වයක් තිබුණේ නැහැ. එයා හොඳින් ඇවිදගෙන ඇවිත් තමයි වාහනයට නැග්ගේ.”

වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු” වාහනයේ ගමන් කරන අතරවාරයේ ‘ඔයා තමයි මුද්දයි, සෙන්ට් බෝතලයයි සපත්තු කුට්ටමයි හොරකම් කළේ’ කියා වාහනය තුළ සිටි පොලිස් නිලධාරියෙකු රාජකුමාරිට ප්‍රකාශ කළා. පසුව අපිව වැලිකඩ පොලිසියට අරන් ගියා. වැලිකඩ පොලිසියේ දී මටත් රාජ කුමාරිටත් පොලිස් නිලධාරීන් පහර දුන්නා.”

“පහරදුන් එක නිලධාරියෙක් ‘තට්ටේ’ තියන කෙනෙක්. අනෙක් නිලධාරියා කෙට්ටු උස පුද්ගලයෙක්. කෙට්ටු උස නිලධාරියා රාජකුමාරිට බටයකින් පහර දෙනවා මං දැක්කා. ”

ඉන් අනතුරුව මියගිය තැනැත්තියගේ සැමියා වන ජේසුරාජ් නමැත්තා ද අධිකරණය හමුවේ සාක්ෂි දෙනු ලැබීය.

වැඩිදුර විභාගය ජුලි 26 වැනිදා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

කොළඹ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක සහ ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන සුදර්මා නෙත්තිකුමාර නොහොත් සුදර්මා ජයවර්ධනගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුනු ආර්.රාජකුමාරිගේ මරණය පොලිස් අත්අඩංගුවේදී සිදුවූ ඝාතන ලැයිස්තුවට එකතුවූ අලුත්ම මරණයයි. කෙසේවෙතත් මෙම මරණය සම්බන්ධයෙන් සුධර්මා නෙත්තිකුමාරට චෝදනා එල්ල වුවද එය ඔප්පු විය හැකිද යන්න සැක සහිතය.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...