ජපන් හයිකු කවියෙත් ඒ ඇසුරෙන් උපත ලබන සිංහල කෙටි කවියෙත් එක් පොදු ලක්ෂණයක් වන්නේ “නිගමනාත්මක බවින් මිදීම හා මතුපිට අසම්පූර්ණතාව” බව කෙටි කවි ලකුණ විචාරාත්මක කෘතිය පලකරමින්, අපරැක්කේ සිරි සුධම්ම ස්වාමින් වහන්සේ පහදා දෙන සේක. එතුමන්ගේ පැහැදිළි කිරීමට අනුව, ” අසම්පූර්ණතාව යනු අර්ථමය ශුන්‍යතාව නොවේ. පාඨකයාට නිර්මාණයේ මතුපිට කිසියම් අපිළිවෙළක් බැලු බැල්මට පෙනෙන්නට තිබුණද නිර්මාණයෙහි අර්ථය හා එම අපිළිවෙළ පිළිවෙළක් සේ බැඳී ඇත” …. ” එහෙත් නිර්මාණය සූක්ෂ්මව කියවන පාඨකයා නිර්මාණයෙහි හමුවන එකී අපිළිවෙළ මගින් සෞන්දර්ය දකියි. මීට අමතරව නිගමනාත්මක බවින් මිදීමද නිර්මාණයේ මතුපිට අසම්පූර්ණතාව හා සම්බන්ධ වන්නකි. පි 348
කෙට් කවියේ සෞන්දර්‍ය විඳීමට කෙටි කවි ලකුණ කෘතියෙන් ලැබූ ඒ කුඩා ආලෝකයෙන් ලහිරු කරුණාරත්න කවියාගේ නොඉම් – කාවය සංග්‍රහයේ හමුවන කවි කීපයක් විමසා බලමු.
නුඹ නොඑතැයි
මම
බලා සිටියෙමි. ( කවිය 4)
මෙය කදිම වාග් චිත්‍රයකි. “නොඑතැයි” යන ඍනාත්මක වදන අපට අරුත් ගන්වන්නේ බිඳී ගිය බලාපොරොත්තුවකි. කඩවුණු පොරොන්දුවක් වීමට ද පුළුවන. එහෙත් බලා සිටියෙමි කියන වචනයේ ඇත්තේ දැල්වෙන අශාවකි, කැමැත්තකි, නොබිඳෙන බලාපොරොත්තුවකි. කවියේ අවසානය දකින රසිකයාට එය ඇරඹුමේදි තිබූ, බලාපොරොත්තු බිඳී යාමේ සංවේදනාව සමනය වී, නැවුම් භාවයන් ඉපදෙන්නට පටන්ගනී.
ඉන්නවා කියනු මිස
තියෙනවා කියනු බැහැ
ඉසුරුමුණි පෙම් යුවළ ( කවිය 14)
ඉන්නවා හා තියෙනවා යන වචන වෙත පවරා දෙනු ලැබූ නිශ්චිත අරුතක් සහ ශක්තියක් ඇත. ඉන්නවා යනු ජීවයෙක් බලයක් සහිත අරුතින් අප යොදා ගන්නේ නමුත් තියෙනවා යන වචනයට ඇත්තේ එහි විරුද්ධාර්ථයි. ඉසුරුමුණි පෙම් යුවළ යනු පිළිමයක් බැවින් එයද ප්‍රාණයෙන් තොරය. එබැවිනි “ඉසුරුමුණි පෙම් යුවළ තියෙනවා” යන ප්‍රකාශය වඩා නිවැරදි වන්නේ. එහෙත් කවියා අපට ඉඩ හසර සදා දෙන්නේ ඉහත කවි සිඟිත්තෙන් උපදින වෙනත් අරුත් කෙරෙහි යොමු වන්නට ය.
එක් අතකින් ඉසුරුමුණි පෙම් යුවළ යම් කිසි කලා කරුවෙකුගේ අද්විතීය නිර්මාණයකි. සත වර්ෂ ගණනාවක් පුරා ඓතිහාසික අගය වඩවමින් එම නිර්මාණය ප්‍රේමයේ සංඛේතයක් ව පවති. නටබුන් නගරයක වූවත් එම නිර්මාණය නටබුන් වී නැත. එබැවින් ව්‍යාකරණ රීති කුමක් වුවත්, කවියා ට ඉන්නවා යන වදන් යොදා ගන්නට ම සිතෙයි.
සමහර විටක කවියා මේ කලා නිර්මාණය යොදා ගන්නේ රූපකයක් ලෙස විය හැකිය. එවිට ඉන් අදහස් කරන්නේ වෙනත් පෙම් යුවළක් වීමට ද පුළුවන. එබැවින් ද ඔහු ඉන්නවා යන වචනය යොදා ගන්නේ.
කවුළුව
හළ පසුවය
උදා වූයේ
උදෑසන (කවිය 15)
රාත්‍රී අන්ධකාරය අහවරකර ආලෝකය උදා කරන්නේ උදැසනයි. එබැවින් උදෑසන යන වදන අපට හඟවන්නේ නැවුම් බලාපොරොත්තුවකි. කවුළුව එම ආලෝකයේ මග අවුරා සිටී. මෙය නිවසක කවුළුවකින් එහා ගිය යම් සංකෘතික, සමාජමය හෝ තමාගේ ම චිත්තාපරයක් වීමට ද පුළුවන. තමා විසින් ම ය එම කවුළුව හැර ආලෝකයට ඉඩ හළ යුත්තේ.
ඉටිමල් තනන්නා
රැගෙන ය යි පෙම්වතියට
ඇත්ත මල් පොකුරක් (කවිය 31)
ඉටිමල් සහා ඇත්තමල් මෙම කවියේ ප්‍රධාන වචන බවට පත් වී ඇත. ඒ වදන් දෙක එකිනෙකට ප්‍රති විරුද්ධ අර්ථ ලක්ෂණ දරා සිටියි. එහෙත් තවත් කෝණයකින් බැලූ විට ඉටිමල් යනු ද ඇත්ත මලකි. එයද අපට දකින්නට හා ඇල්ලීමටත් පුළුවන. එයට ම ආවේණික සුවඳකින් ද යුතු ය. අප සොයා බැලිය යුත්තේ ඉටි මල් තනන්නා ඇත්ත මල් පොකුරක් පෙම්වතියට දීමට හේතුව කුමක්ද යන්නය. ඉටිමල් මෙන් නොව ඇත්තමලක නැවුම් සියුම් සුවඳ රැඳෙන්නේ තාවකාලිකව. එසේනම් මේ පෙම්වතා රැවටිලිකාරයෙක් ද? පෙම්වතියට ඉටිමල් පොකුරක් දී තම ආදරයේ යාවජීව ගුණය පලකරන්නට නොතිබුණේ ද?
ඒ
පරමල් නොවේය
මල්ය
පරවුණු (කවිය 42)
පරමලින් පිරි
මේ කුණුගොඩට
“කුණුගොඩ” යි කියන්නට
පමාවෙයි සිත ( කවිය 37)
ඉහත කවි දෙකේදී ම කවියා “බලයෙන් අඩු වචන” දෙස නැවත බලන්නට රසිකයා වෙත ආලෝකය ලබා දෙයි. සම්මත වචන තුළ අන්තර්ගත අරුත්, විසංයෝජනය කරවයි. රසික සිත් තුළ ප්‍රඥා ප්‍රදීප දල්වයි.