Breaking News

මැයි 09 මහින්ද රාජපක්ෂ සංවිධානය කළ මැර ප්‍රහාරය

චාමර නාකන්දල

මැයි 09 යනු ඓතිහාසික දවසක්. අප්‍රේල් 9 වෙනිදා සිට ඉතාම සාමකාමීව අහිංසාවාදීව සහ විචිත්‍රවත් ලෙස අරගලය පවත්වාගෙන යාමට සහභාගී වූ පුරවැසියන් කටයුතු කළා. දෙමාපියන්, තම අතදරුවන් පවා අරගල භූමියට රැගෙන ආවේ අරගලකරුවන්ගේ නව මාදිලියේ අරගලය පිළිබඳව විශ්වාසය තබමින්. වයස්ගත පුරවැසියන් ආබාධිතයන්ද අරගල භූමියෙහි දක්නට ලැබුණා.

මාසයක් පුරා පැවති විචිත්‍රවත් අරගලයට එල්ළ වූ එක් විවේචනයක් වූයේ එය කානිවල් එකක් බවයි. ආණ්ඩුවේ සමහරක් පැවසූවේ එහි නැත්තේ මැරිගෝරවුම් එකක් පමණක් බවයි. සංගීත සංදර්ශන, විත්‍රපටි දර්ශන, බලි තොවිල්, ආගමික වතාවත්, නාට්‍ය, ස්වාධීනව එන පුරවැසියන්ගේ කතා, සකච්ඡා බොහෝ දේ තුළින් විචිත්‍රවත් නව මාදිලියේ අරගලය ගලා ගියා. පාලකයා විසින් ඔවුන්ගේ තකතීරු පාලනය නිසා ඇතිකළ සියලු පීඩන වේදනා අහිමිවීම් දරාගෙන අරගලකරුවන් අතිශය ප්‍රජාත්ත්‍රවාදී අරගලය ඉදිරියට අරගෙන ගියා.

මැයි 09 මහින්ද රාජපක්ෂ සංවිධානය කළ මැර ප්‍රහාරය

අගමැති මහින්ද විසින් අරලියගහ මැදුරට තමන්ගේ අනුගාමික මැරවරයන් කැඳවන්නේ මැයි 9 වෙනිදා. එහිදී ජොන්ස්ටන් සහ සනත් නිශාන්ත යන මැර මන්ත්‍රීවරුන්ගේ උත්තේජනයත්, බොන්නට මත්පැනුත් ගහන්නට යකඩ සහ ලී පොලුත් පැමිණි පිරිසට ලැබෙනවා. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගේ පොලිස් ආවරණය සහ රැකවරණය මධ්‍යයේ පැමිණි පිරිස මයිනා ගෝ ගමට පළමුවත් ගෝඨා ගෝ ගමට දෙවනුවත් පහර දෙනවා.

ආගමික පූජ්‍ය සහ පූජකයන්ට, කාන්තාවන්ට ඇතුලු අරගලයේ සිටින සියලු දෙනාට පහර දෙමින්, ඔලු පලමින් අරගලයේ කූඩාරම්, සැරසිලි, සැමරුම් කඩා ගිණි තබනවා.

රට පුරා අරගලකරුවන්ට පහරදීමේ තවත් පියවරක්

එම පහරදීමෙන් පසු ලද ධෛර්ය තුළින් (මොරාල් එක ) මේ මැරයින් තම පිරිස් බලය තවත් වැඩි කර ගනිමින් ගම් වැදීමේ අවධානමක්ද තිබුණා. එය ක්‍රියාත්මක වූවා නම් දහස් ගණනින් අරගලය මෙහෙය වූ මිනිසුන්ගේ ගෙවල් ගිණිබත් වෙන්න තිබුණා. දහස් ගාණක් අරගලකරුවන් මහමග මරා දමන්නට ඉඩ තිබුණා.

අනපේක්ෂිත සැලසුමක් නැති ප්‍රති ප්‍රහාරයක්

අරගලකරුවන්ගේ අහිංසාවාදි විචිත්‍රවත් අරගලයට ආදරය කළ මේ රටේ සාමාන්‍ය මිනිසුන් මහින්ද රාජපක්ෂ විසින් කැඳවා අරගලයට එවන ලද මැරයන් කළ මිලේච්ඡ පහරදීමෙන් පළමුව කම්පනයටත් දෙවනුව ආවේගයටත් තෙවනුව පෙරලා පහර දීමටත් පත්වුණා. එම පහරදීමට එක්වුන මිනිසුන් එවැනි දෙයකට සූදානම්ව සිටි අය නෙමෙයි.

එම ප්‍රහාරය අපේ අරගලයේ ස්වභාවය නෙමෙයි.

මිනිසුන් එක්ව එල්ල කළ එම ප්‍රහාරය පැවති අරගලයේ ස්වභාවය නොවන බව අපට විශ්වාසයි. එය අපගේ ස්වභාවය නොවන බව මාසයක් පුරා කඳවුරු බැදි අප ඔප්පු කර තිබුණා. මැයි 09 සහ 10 දින දෙකෙන් පසුව ඉක්මණින්ම නිවෙමින් ප්‍රති ප්‍රහාරය නැවතීමෙන්ද පෙන්නුම් කරන්නේ එම ප්‍රහාර එම මොහොතේ වැඩෙමින් පැවති තත්වයට ප්‍රතිචාර දැක්වීම පමණක් බවයි.

එම ප්‍රති ප්‍රහාරය නොවුනා නම්

මැයි 09 වෙනිදා අරගලයට පැමිණි මැරයන් බේරේ වැවට දැමීම ඇතුලු ප්‍රතිප්‍රහාරය පිළිබඳව අප සතුටු වන්නේ නැහැ. එය සිදු නොවුනා නම් හොද යැයි අප විශ්වාස කරනවා. නමුත් එම ප්‍රති ප්‍රහාරය සිදු නොවී මැරයන් ඔවුනට ලැබුන අලුත් ධෛර්යත් ( මොරාල් එක ) සමඟ ගම් වැදුනා නම් මහා විනාශයක් වන්නට තිබුණා. මා මෙහි කලින් සඳහන් කළ පරිදි අරගලකරුවන් සොය සොයා මරා දමන්නට ඉඩ තිබුණා. මහා ජන සංහාරයක් කිරීමට ඉඩ තිබුණා. අප එකඟ නොවන සහ අකමැති ප්‍රති ප්‍රහාරයෙන් නැවතුනේ එම ජන සංහාරයයි.

ඇත්ත වසන ආණ්ඩුවේ ප්‍රචාරක වැඩපිළිවෙල

මැයි 9 ඉතිහාසගත විය යුත්තේ මහින්ද රාජපක්ෂ මිනිසුන් කැඳාවා සංවිධානාත්මකව කළ මිලේච්ඡ පහරදීමයි. නමුත් බේරේ වැව මූලික කරගත් ප්‍රචාරක පෝස්ටු අරගලයට ආදරය කළ, උදව් කළ පිරිස් හරහාම මේ මොහොතේ බෙදා හරින්නට ආණ්ඩුවේ සමාජ මාධ්‍ය උපායමාර්ග මෙහෙයුම් හරහා සිදුවෙනවා. එයින් ඉලක්ක කරන්නේ ඔවුන්ගේ මිලේච්ඡ ප්‍රහාරය යට ගැසීමත් අරගලයට එම මිලේච්ඡත්වය ආරෝපණය කිරීමත් බව පැහැදිලියි.

රාජපක්ෂ ආණ්ඩුව අරගලයට එල්ළ කළ මිලේච්ඡ ප්‍රහාරය මැයි 09

ඇත්ත කතාව මෙයයි. ඉතිහාසගත විය යුත්තේද මෙයයි. අශ්වාදයේ සිහිනයෙන් අවධිවන්න. උදම් ඇනීමට දෙයක් නැත. මැරයන් බේරේ වැවට දැමීම ඒ මොහොතේ ප්‍රතික්‍රියාවක් පමණි. එය අපගේ ක්‍රමය නොවෙයි.

පැසිස්ට්වාදී ගමනක්

රනිල් වික්‍රමසිංහ විසින් අරගලයට මිලේච්ඡ ලෙස පහරදී ගෝල්ෆේස් අරගලය සමතලා කර අවසන්. පොඩි විරෝධයක් පවා කරන්නට ඉඩ නොදී පහර දී එළවා දැමිමට තරම් රනිල් වික්‍රමසිංහ කටයුතු කරනවා. ප්‍රති ත්‍රස්ත්‍ර පනත, සමාජ ජාලා මර්දනයට ගෙන එන පනත ඇතුලු ප්‍රජාතන්ත්‍ර විරෝධි පනත් සම්මත කිරීමට නියමිතයි.

ජනතාව එකතු විය යුතුයි.

ආණ්ඩුවේ ප්‍රචාරක උපක්‍රම පරදවන්න අප සිහිබුද්ධියෙන් එකතු විය යුතු බවත්. ආණ්ඩුවේ මිලේච්ඡත්වය ඉහළට එසවීමටත් අරගලයේ සැබෑ අහිංසාවාදී ස්වරූපය රැක ගැනීමටත් අප එක්ව කටයුතු කළ යුතු බවත්. රනිල් වික්‍රමසිංහව ගෙදර යවන අරගලය සාමූහිකව සංවිධානාත්මකව ගොඩනැගිය යුතු බවත් මම ඔබට ආදරයෙන් යෝජනා කරනවා.
අරගලයට ජය වේවා ! මේ පණිවිඩය පුලුවන් තරම් මිතුරන් අතරේ බෙදාගන්න.

චාමර නාකන්දල – 2023.05.09

leave a reply