මැයි දිනයට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් සිදු කරන ලද පහත ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුළ කිසියම් සංවාදයක් ඇති වී තිබෙන බව පෙනේ.
” කම්කරුවන් නායකත්වය නො ගත් නිසා අරගලය සම්පූර්ණ කිරීමට නො හැකි වුණා ”
මේ සම්බන්ධයෙන් මතු වී ඇති අතිසරල විවේචනය වන්නේ මෙය කම්කරුවන්ට සිදු කළ ගැරහීමක් බව ය.ඒ වනාහි සිරස පමණක් කියවීමෙන් හිස අවුල් කර ගැනීමේ ප්‍රතිඵලයකි.
මෙහි දී කුමාර් පවසනුයේ අපට ශක්තිමත් කම්කරු පන්ති ව්‍යාපාරයක් නොමැති වීමේ අර්බුදය යි.විවිධ අයුරින් බෙදා වෙන් කර ඇති මෙරට කම්කරු පන්ති ව්‍යාපාරය සංවිධානාත්මකව අරගලයට මැදිහත් වූයේ නැත.අවස්ථා ගණනාවක දී ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පාවා දෙනු ලැබිණ.තරුණ,ශිෂ්‍ය සහ නාගරික මධ්‍යම පාන්තික කොටස් මෙන් ම කම්කරු පන්තිය ද අරගලයට මැදිහත් වූයේ අසංවිධිතව ය.ගාමක බලවේගය ලෙස කම්කරු පන්තියට අරගලය තුළ නායකත්ව කාර්ය භාරයක් සිදු කිරීමට හැකි වූයේ නැත.
1980න් පසු මෙරට කම්කරු පන්ති ව්‍යාපාරය අබලන් වීමේ හේතු මොනවාද ? ඒ සඳහා ධනේශ්වර දේශපාලනය සැලසුම්සහගතව කටයුතු කළ බව අමුතුවෙන් කිව යුතු නැත.එහෙත් අර්බුදය වන්නේ වමේ දේශපාලනය ඊට සැලකිය යුතු ලෙස ප්‍රතිඅභියෝග කිරීමට අසමත් වීම යි.එනම් කම්කරුවන් බෙදා වෙන් කිරීමේ සැලැස්ම පරාජය කරනු වෙනුවට ඔවුන් සිදු කරනු ලැබුවේ තව තවත් කම්කරුවන් භේදබින්න කිරීමට කටයුතු කිරීම යි.නිදසුනක් ලෙස එක ම ක්ෂේත්‍රයක කටයුතු කරන කණ්ඩායම් පවා ශ්‍රේණි ලෙස වෙන වෙන ම සංවිධානය කිරීම දැක්විය හැකිය.වෛද්‍යවරුන්,හෙදියන් හා සුළුසේවකයන් සඳහා වෙන වෙන ම වෘත්තීය සමිති පිහිටුවීම එබන්දකි.
විප්ලවයේ ගාමක බලවේගය කම්කරු පන්තිය වූ පළියට ඔවුන් ස්වච්ඡන්දයෙන් ඒ වෙත ගෙන ආ නො හැකිය.ඒ සඳහා කම්කරු පන්තියේ පක්ෂය තීරණාත්මක කාර්ය භාරයක් සිදු කළ යුතුය.එහෙත් මෙතෙක් මෙරට කම්කරු පන්තිය සංවිධානය කළ කිසිදු වාමාංශික දේශපාලන පක්ෂයක් කම්කරු පන්තිය වෙත පන්ති සවිඤ්ඤාණකත්වය ගෙන යෑමට කටයුතු කළේ නැත.ඒ වෙනුවට ඔව්න් සිදු කරනු ලැබුවේ අතිශය දෛනික ඉල්ලීම මත කම්කරු පන්තිය රැඳවීමේ වෘත්තීය සමිතිවාදී,ආර්ථිකවාදී හා ලසාල්වාදී මෙන්ෂෙවික ස්ථාවර වෙත කම්කරු පන්තිය රගෙන යෑම ය.ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් මේ වන විට ඒ සියල්ලට අමතරව පාර්ලිමේන්තුවාදී ස්ථාවරයකින් ද කම්කරු පන්තිය සමඟ කටයුතු කරන බව දක්නට ලැබේ.
කම්කරු පන්තිය අතර සාපේක්ෂ සංවිධාන ශක්තියක් සහිත ජවිපෙ බඳු දේශපාලන ව්‍යාපාරයක් අරගලය තුළ කටයුතු කළ ආකාරය කම්කරු පන්තියේ නායකත්වය එය වෙත නො ලැබීමට ප්‍රධාන හේතුවක් විය.මෙය කෙතරම් බරපතළ ද යත් මේ වන විට වැඩවර්ජනයක් පවා සාර්ථක කර ගැනීමට නො හැකි තත්ත්වයකට කම්කරු පන්ති ව්‍යාපාරය ඇද වැටී තිබේ.
ඒ අර්ථයෙන් නම් මේ පහත වාමාංශික දේශපාලනයට එල්ල කර ඇති විවේචනය පිළිගත යුතුය.නමුත් ගැටලුව වන්නේ තවදුරටත් ජවිපෙ යනු වාම දේශපාලන ව්‍යාපාරයක් ලෙස සැලකිය නො හැකි වීම යි.