Breaking News

NO MAN’S LAND ඔවුහු අවසානයේ මිනිසුන් පළවා හැර පූජනීය කළ බිම විකුණුහ

සජිත් සාරංග සේනාරත්න

මෙය ටිකක් කල් ගිය කතාවකි…. එහෙත් පැරණි නොවූ අලුත් වෙන සිදුවෙන දෙයකි…. අපි ඒවා දෙසම බලා සිනාසී දවස ගෙවන්නේමු

පසුගිය සති අන්තයේ මම, බිරිද හා සිගිති දියණිය නිවසින් පිටත් වුණේ අපේ පමණින් විනෝද වීම සදහායි. ඒ වෙනුවෙන් අපි පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයට ගිය අතර, වැටි වැටි ඇවිදින දියණිය අතින් අල්ලා ගත් මා පිට්ටනියේ තණබිස්සට පා තියද්දීම පොලිස් විෂිල් එකක් ඇසුණත් එය ගණන් නොගෙන දියණිය හා මම තණබිස්සේ ඇවිද්දා.

ටික වේලාවකින් අප අසලට ආ කාකිඇදුම් ඇදි නිලධාරියෙකු මට පැවසුවේ ඕනෑ නම් මංතිරුවේ පමණක් ඇවිදිය හැකි බවත්, කිසිවෙකුටත් තණබිස්සේ ඇවිදීමට ඉඩ නොදෙන බවත්ය. ඒ ගැන ප්‍රශ්න කරපු මට පොලිස් නිලධාරියා කිවුවේ දැන් අවුරුදු ගාණක ඉදන් කිසිකෙනෙකුට තණබිස්ස පාවිච්චි කරන්න දෙන්නෙ නෑ කියලයි. ඒ වෙලාවෙ මම ඇහුවා ‘ඇත්තටම මේක පාවිච්චි කරන්න බැරි පුංචි මිනිස්සුන්ට විතරක් නේද‘ කියල. මගේ වචනයෙන් ඒ පොලිස් නිලධාරියාට කේන්ති ගියා. ඔහු මට කිවුවේ ‘අපි ඒක දන්නේ නෑ. අපිට කියල තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යංශයෙන්. ඔයාට ඕනෙ නම් ආරක්ෂක අමාත්‍යංශයෙන් අහගන්න‘ කියල. ඒ වෙලාවෙදි මම කිව්වෙ ‘මට ඒක ආරක්ෂක අමාත්‍යංශයෙන් අහන්න උවමනාවක් නෑ… මට එපා කිවුවෙ ඔයාගෙන්… එතකොට ඒ එපා කියන්න හේතුව ඔයයි මට කියන්න ඕනෙ‘ කියල.
කොහොම උනත් කාතාව දිග්ගැස්සුනා. ඔහුත් මමත් අතර දිගු වෙලාවක් බහින්බස්වීමක් සිදුවුණා. අවසානයෙදි මම කිවුව කතාව තමයි ‘සමහර පිල්ලි එළෙව්වට උන්ගෙ හෙවණැලි තාම ගිහින් නෑ‘ කියල. ඒකෙන් අර නිලධාරියාට තවත් කේන්ති ගියා. අවසානයේදී ඔහු කිවුවෙ ‘අර පේන්නෙ රණවිරු ස්මාරකය. ඒකට වෙනුවෙන් තමයි මේක වෙන්කරල තියෙන්නෙ‘ කියල. ඒ වෙලාවෙදි මම ඇහුවෙ ‘ඔය කියන රණවිරුවො දම්මල කුණු කාණු කප්පවනකොට ඔහේලා කොහේද හිටියෙ‘ කියල. අවසානයේදී ඔහු OICට කතා කරනව කියල මොබයිල් එකත් අරන් ඈතට ගියා.

මගේ බිරිද දිගින් දිගටම මට දොස් කිවුවෙ ‘ඔයාට ගියපු තැනක කටපියාගෙන ඉන්න බැරිද? අර අනික් මිනිස්සු ඉන්නේ‘ කියල. මම අනික් මිනිස්සුන්ට වඩා වෙනස්. හැම මිනිහම කටපියාගෙන ඉන්න නිසා තමයි අපේ නිදහස අපි පාලකයන්ට ඕනෙ විදියට විදින්න වෙලා තියෙන්නේ.
ඇත්තටම මෙතනදි ඒ පොලිස් නිලධාරියා අතේ වැරැද්දක් නෑ… තියෙන්නෙ පාලකයන්ගෙ අතේ. අන් අපේ නිදහස සීමා කරල තියෙන්නේ. අපි අපේ නිදහස විදින්න ඕනේ උන්ට ඕනෙ විදියට. මේ හැම තැනටම ගාව ගන්නේ එකම තියරියයි. ඒ තමයි යුද්ධය.
2008-2009 කාල වකවානුවේ ඒ කියන්නේ යුද්ධය උපරිමයෙන් පැවති කාලෙත් අපි හැම සෙනසුරාදාම ඉරිදම ඔය පිට්ටනියෙ ක්‍රිකට් ගහනව. ඒ කාලෙ පාර්ලිමේන්තු පිට්ටනිය කොච්චර සුන්දරද? හැමතැනම දුවපනින පුංචි එවුන්… ටීම් දහයක් විතර එකම පිට්ටනියෙ ක්‍රිකට් ගහන හැටි… පුංචි පුංචි පවුල් එකතුවෙලා පුංචි පුංචි කෑම අරන් ඇවිත් බෙදා හදාගෙන කාපු හැටි… අයිනෙ තිබුණු ගස් ගොන්නට මුවා වෙලා බියර් එකක් බීපු හැටි… ඒ අතීතය කොච්චර සුන්දරද? දැන් යුද්ධය ඉවරයි… හැබැයි ඒ අපේ නිදහස කෝ…

අනික් කාරණාව තමයි ඔය රණවිරු ස්මාරකයට ගරු කරන්නෙ ජනතාවගේ සීමාවන් උල්ලංඝණය කරලද? ඔය කියන ගරු කටයුතු ස්මාරකයට පොඩ්ඩක් එහායින් තමයි පාර්ලිමේන්තුව කියන ගුබ්බැයම තියෙන්නේ. ඒ ගුබ්බෑයමේ ඉන්න හරක් ටික තප්පුලනකොට ඔය කියන ස්මාරකේ ගෞරවය නැති වෙන්නෙ නැද්ද? ඒ විතරක් නෙමෙයි ඔය ස්මාරකය අනික් පැත්තෙ තමයි හමුදාවට උඩින් ඇවිත් පරිප්පු දාපු ඉන්දියන් හමුදාව ලංකාවට ආපු ගමන සිහිකරන්න ඉන්දියන් හමුදා ස්මාරකයත් හදල තියෙන්නේ? ඒක හදනකොට, විවෘත කරනකොට, ඒක පේනකොට ඔය රණවිරු ගෞරවය කෙළෙසෙන්නේ නැද්ද? ගෞරවය කියන්නේ ස්මාරකයක් හදල, මිනිස්සුන්ට සීමාවන් පනවල, උදේ හවස පපර බෑන්ඩ් ගහල දෙන්න පුළුවන් කාරණාවක් නෙමෙයි.

මිනිස්සුන්ගේ නිදහස සීමා කරල, මිනිස්සුන් භුමියෙන් පළවා හැරල, හිස් බිමකින් රටට වැඩක් නෑ.. අනික ඒ සියල්ල කාගෙවත් බූදලයක් නෙමෙයි. අපේ දහඩිය මහන්සියෙන් හරි හම්බ කරන තුට්ටු දෙකට ‘බදු‘ කියල අපූරු නමක් දාල හූරගෙන කාපු සල්ලිවලින් ගොඩනගපුව. ඒ නිසා ඒවාට අපිටත් අයිතිය තියෙනවා. අපේ ඒ අයිතිය උදුරා ගන්න කාටවත් ඉඩ දෙන්න බෑ…

ඒ නිසා නිහඩව සිටියා ඇති… උන් කිසි දිනක අපේ අයිතිය බන්දේසියක දමා අපට පිළිගන්වන්නේ නැත. අපේ අයිතිය අපි උදුරා ගත යුතුමය…

 

leave a reply