Breaking News

අතු පතරින් පෙරී ආ අලුත් අවුරුදු ගීයක්

මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය

සිහිනයකි ඒ පිපෙන මල්වල අතු අගිස්සෙන් හිනැහී
මතකයකි මල් හදවතෙහි පිණි බිඳු ලෙසින් යන වියැකී
නවමු අවුරුදු හිරු වඩම්මන කොහා අතු අග ගොලුවී
පැලඳි මුඛ වාඩම් තුළ ම ඇත බොහෝ නව ගී සිරවී

අතට හුරු අවි තබා මුල්ලක බෝ දිනක් ඇත ගතවී
කොවිඩ් සතුරා මඬින යන්ත්‍රය අතට ගන්නට සිදුවී
මේඝ දූතය අතේ හෝ ලියමනක් මව්නට යවනු රිසිනී
වලාකුළු ඉරි තැලුණු අහසට යොමන රණවිරු ඇසකී

හිරු නැගෙන්නට බොහෝ කලියෙන් සුපිපි නෙත් මල් රැසකී
හිරු ගිලී මැදියම ලැබූවත් එ’මල් නොමියෙන හැඩකී
නැකතටත් පෙර ගෙයින් නික්මෙන වෙද නලා ගත් අතකී
රෝහලේ ලෙඩ ඇඳන් ළඟ නව පහන් දැල්වෙනු පෙනුනී

බොහෝ අවුරුදු හඬ නිහඬ කර සුළං හඬ ළඟ ඇසුණී
එ’අස්සෙන් පොඩි බටිති ජෝඩුව ගයන ගීයක් මතු වේ
අළුත් අවුරුදු කිරිබතට සුදු සහල් මදි වී තිබුණී
බටිති බිරිඳක ගයන සෝ ගී ළඟ ළඟම කණ වැකුණී

මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය

leave a reply