Breaking News

නැවතත් ජාත්‍යන්තරයට ගියේ අපේ ඩෝ-ස’ ‘මාධ්‍ය නිදහසේ භක්ෂකයෙක්’ ලෙසයි …!!!

සනත් බාලසුරිය

ජනමාධ්‍ය නිදහස ගොදුරට ගන්නා බිහිසුණු රාජ්‍ය නායකයන් 37 දෙනෙකුගේ සේයාරූ එකතුවක් අතරේ ලංකාවේ ජනාධිපති ගෝඨාභයට ද තැනක් ලබාදෙමින්, ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනීසිටින ජාත්‍යන්තර සංවිධානයක් අලුත්ම වාර්තාවක් නිකුත්කර තිබේ.
මාධ්‍ය නිදහසේ භක්ෂකයෝ (Press Freedom Predators) නමින් මෙම වාර්තාව නිකුත්කර තිබෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍රකරගත් දේශසීමා රහිත වාර්තාකරුවෝ – Reporters Without Borders (RSF) – ය.

‘සුදුවෑන් බලකායේ’ අධීක්ෂකයා

සිය සොයුරු මහින්ද ජනාධිපතිව සිටි සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ක්‍රියාකරමින් ජනමාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයන් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමට මෙන්ම ඇතැම්විට ඝාතනය කිරීමට ද යොදාගත් ඝාතන කල්ලිය වන ‘සුදුවෑන් බලකායේ’ අධීක්ෂකයා හෙවත් ඕවසියර්වරයා ලෙස මෙම වාර්තාවෙන් ගෝඨා හඳුන්වා තිබේ.
ඔහු 2019 ජනාධිපති වී, ආරක්ෂක ඇමැති ධූරය ද තමන් යටතට ගත් පසු, අපේක්ෂා කළ පරිදිම පැරණි භූතයන් අවදිවී සිටින්නේය යි ද වාර්තාව පවසයි. ලංකාවේ ජනමාධ්‍ය බොහොමයක් මේ වනවිට තමන්ව ම වාරණය කරගනිමින් සිටින්නේ ගෝඨාගේ අතීත ක්‍රියාකාරකම් නිසා හෝ දැන් ඔහු ජනාධිපති ලෙස කරමින් සිටින දේ නිසා බව ද වාර්තාව කියයි.

ගෝඨාගේ ‘ප්‍රියතම ඉලක්ක’

ගෝඨාගේ ‘ප්‍රියතම ඉලක්ක’ ලෙස එය දක්වන්නේ සංවේදී විෂයයන් ආවරණය කරමින් සිය රාජකාරිය කිරීමට ධෛර්යයෙන් කටයුතු කරන ජනාමාධ්‍යවේදීන් ය.
“රාජකාරිය කරනවාද, නැතිනම් සිය ජීවිත අනතුරේ හෙළාගැනීමෙන් වැළකී සිටිනවාද යන බියකරු උභතෝකෝටිකයට ලංකාවේ බොහෝ ජනමාධ්‍යවේදීහු දැන් මුහුණදී සිටිති. ඝාතනය වූ බොහෝ සගයන්ගේ අවතාර සමඟ ඔවුන්ට ජීවත් වීමට සිදුවී ඇති අතර, ගෝඨාගේ නියෝග මත සිදු කරන ලද මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය පිළිබඳ අපරාධ සඳහා දඬුවම් නොලැබීමේ තත්ත්වය ද අඛණ්ඩව පවතී. RSF ගණන්බැලීම්වලට අනුව, ගෝඨා ආරක්ෂක ලේම්ව සිටියදී අවම වශයෙන් මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනයට හෝ අතුරුදහන් කිරීමට ලක්ව සිටිති. තවත් 20 දෙනෙකු පමණ වධහිංසා පැමිණවීමෙන් හෝ මරණ තර්ජන ලැබීමෙන් පසු රටින් පළාගොස් සිටිති.
“මේ පසුබිම තුළ දෙමළ සුළුතරය හෝ මුස්ලිම් ප්‍රජාව මුහුණපා සිටින ඛේදජනක තත්ත්වය ගැන ගවේෂණාත්මක වාර්තාකරණයන් අතිශයින්ම භයානක බව පෙනේ.

හිරේ යනවද? මැරුම් කනවද?

එවැනි වාර්තාකරණයකට එඩිතර වන්නෝ අන්තරායයන් දෙකකට නිරාවරණය වෙති. එකක් අධිකරණමය වන අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අතැතිව පොලීසියෙන් පැමිණීමේ ඉඩකඩක් පවතී. අනෙක භෞතික වන අතර, ඔවුන්ට මරණ තර්ජන එල්ලවීමේ සම්භාවිතාවක් පවතී. එවැන්නක් පිළිබඳ පැමිණිල්ලක් ලියාගැනීම පවා පොලීසිය විසින් ප්‍රතික්ෂේප කරනු ඇත. දැන් මේ කුමන ක්‍රමයකින් හෝ භීෂණය ආපසු පැමිණ ඇත.” යනුවෙන් ර්තාවේ තවදුරටත් දැක්වේ.

ඒ අනුව නිල නිවේදනය වන්නේ මරාදැමීමට කරන අණකිරීම හා අතීතය අමතක කරදැමීමට කරන දැනුම්දීම බව වාර්තාව පවසන්නේ ගෝඨාගේ සුප්‍රසිද්ධ අතීත තර්ජනවල උදෘත දෙකක් උපුටා දක්වමිනි.

ඉන් පළමුවැන්න 2012 ජුලි මාසයේ දී ජනමාධ්‍යවේදිනී ෆෙඩ්‍රිකා ජෑන්ස්ට මරණ තර්ජන එල්ලකළ අවස්ථාව යි‍.
“උඹ අසූචි කන ඊරියක්. උඹ කමකට නැති ජරා *කන ජර්නලිස්ට් කෙනෙක්! මිනිස්සු උඹව මරල දායි!!”
“You pig that eats shit! You shit shit dirty fucking journalists! People will kill you!”

අනෙක් උදෘතය 2019 ඔක්තෝබර් මස සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනක දී ගෝඨා කී සුප්‍රසිද්ධ කියමනකි‍.
“අතීතයේ ජීවත් වෙන්න එපා. මට ඕනැ ලංකාවේ අනාගත ජනාධිපති වෙන්නයි. ඒ හින්දා ඔබ (අතීතය අමතක කර) අනාගතය ගැන අවධානය යොමුකරන එකයි හොඳ”
RSF විසින් නිකුත් කරන ලද 2021 මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාව ස්ථානගත වී ඇත්තේ රටවල් 180කින් 127 වැනි තැන ය.

සනත් බාලසුරිය

leave a reply