Breaking News

රනිල් රාජපක්ෂලා මැතිවරණ සිතියම හැකිලීමේ සූදානමක – පැෆ්රල් සංවිධානයේ

මැතිවරණ සිතියම හැකිලීමට රජය දරණ උත්සාහයට ඉඩ නොතබමු
ජනතාව තවදුරටත් සොඳුරු වදන්වලින් මුලාකිරීම හෙළාදකිමු.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව අවස්ථා කිහිපයකදී අදහස් දක්වා තිබූ අතර අවසන් වරට පෙරේදා (09) දිනයේදී වෘත්තියවේදීන් සමග පැවති සාකච්ඡාවේදී දැක්වූ අදහස් මගින් ගම්‍ය වන්නේ ජනතාවට පැණි තවරා විෂ ගිල්ලවීමට ජනාධිපතිතුමා දරණ උත්සාහයයි. නොඑසේනම් සමාජය තුළ මැතිවරණ ක්‍රමය පිළිබඳ හා දේශපාලනඥයන් පිළිබඳව ඇති අප්‍රසාදය භාවිත කරමින් ජනතාවට පාලකයන් පිළිබඳව සිය කැමැත්ත හෝ අකැමැත්ත ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අහිමි කරමින් මැතිවරණ සිතියම හකුලුවාලීමට දරණ කූඨ උත්සාහයක් බවයි. ඒ සඳහා දැනට යෝජනාවී ඇති සාධනීය මැතිවරණ සංශෝධන කිහිපයක් එකතු කරගනිමින් ජනතා විරෝධය ඇතිවීම වැළැක්වීමට උත්සාහ දැරීමක් බවයි.

ඉතිහාසය පුරාවටම ගෙන එන ලද මෙවැනි සංශෝධන හරහා උත්සාහ කර ඇත්තේ ඒ මොහොතේ සිටින පාලකයාට අවැසි ලෙස මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම විනා රටක් ලෙස සලකා රටේ ආර්ථික, සමාජ, දේශපාලන සංදර්භයට ගැලපෙන ක්‍රමවේද හඳුන්වාදීමට නොවේ. එමෙන්ම එම සංශෝධන හරහා තම පක්ෂයට වාසිදායක මොහොතක් එන තෙක් මැතිවරණ කල්දමාගැනීමට පාලකයා කටයුතු කර තිබේ. ඒ හරහා සාධනීය යෝජනාවක් හෝ පිළිගැනීමට නොහැකිවන ආකාරයට වත්මන් ජනාධිපතිතුමා ඇතුලු පැවති ආණ්ඩු ජනතා විශ්වාසය පලුදු කර තිබේ. ඊට අදාල උදාහරණ කිහිපයක් පෙන්වාදිය හැකිය.

  1. 2012 අංක 12 දරණ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතට අදාල සීමානිර්ණය නිසිකලට අවසන් කිරීමට ක්‍රියානොකිරීම හරහා මැතිවරණය කල්දමනු ලැබීය. පැෆ්රල් සංවිධානය ගනු ලැබූ අධිකරණ ක්‍රියාමාර්ග මගින් සීමානිර්ණය අවසන් කරන්නට බලකරනු ලැබූ අතර මැතිවරණය ලබාගත හැකිවූයේ වසර දෙකකින් අනතුරුවය.

  2. වත්මන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ධුරය දැරූ යහපාලන රජය කාලය තුළ (2017 වර්ෂයේදී) 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑමින් සහ ඊට ඉතා සාධනීය කරුණු කිහිපයක් ඇතුළත් කරමින් ඒ හරහා මැතිවරණය කල්දැමීමට උත්සාහ දැරූ අතර පැෆ්රල් සංවිධානය හා තවත් කිහිපදෙනෙකු අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීම හේතුකොටගෙන එකී උත්සාහය ව්‍යර්ථ විය.

  3. එහෙත් යහපාලන රජය විසින් 2018 වර්ෂයේ නැවත වරක් පළාත් සභා ක්‍රමයට කාන්තා නියෝජනය ඇතුළත් කිරීම සඳහා ඉතා සාධනීය යෝජනාවක් ඉදිරිපත් කර අනතුරුව එය සම්පූර්ණ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් බවට පත්කර, මැතිවරණ ක්‍රමයම අතරමං කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙසට මේ වන විට සියලු පළාත් සභා මහජන නියෝජිතයන්ගෙන් තොරව ජනාධිපතිතුමා සෘජු නියෝජතයින් හරහා පාලනය වේ. ඒ හරහා ජනතාවගේ ඡන්ද අයිතිය වසර 2 සිට වසර 4 දක්වා කාලයක සිට අහිමිකර තිබේ.

  4. එමෙන්ම ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලය තුළ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ජනතාවට ලබාදුන් පොරොන්දුව වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ඝතය ඒ ආකාරයෙන්ම සම්මත කරන බවය. එහෙත් එකී පොරොන්දුව ඉටුකරලීමට ජනාධිපතිතුමන් මෙතෙක් අසමත්වී ඇත. මේ සියලු කාරණා හරහා ජනාධිපතිතුමාගේ මැතිවරණ සංශෝධන යෝජනා වල අවංකභාවය පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් ඇතැයි සිතිය නොහැක.

එමෙන්ම ගරු ජනාධිපතිතුමන්ගෙන් හා රජයෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ.

  1. සියලු දේශපාලන පක්ෂ වල සහභාගීත්වය සහිතව වර්තමාන ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සභාපතිත්වයෙන් යුක්තව ක්‍රියාත්මක වූ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරිපත් කල වාර්තාව රජය පිළිනොගන්නේද? එම තේරීම් කාරක සභාවට මැතිවරණ කොමිසම, සිවිල් සංවිධාන, පුරවැසියන්, දේශපාලන පක්ෂ ඇතුලු විශාල පිරිසක් සිය යෝජනා ඉදිරිපත් කර තිබූ අතර එම වාර්තාව වර්තමාන රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා අනුමත කර තිබේ. එවැනි කමිටුවක් හා වාර්තාවක් තිබියදී තවත් එවැනිම කමිටුවක් පත්කරන්නේ කවර හේතුවක් මතද?

  2. මැතිවරණ වියදම් සීමාකිරීමට පනතක් ගෙනඒම ජනාධිපතිතුමාගේ ඉතා සාධනීය යෝජනාවකි. එහෙත් ජනාධිපතිතුමාට අවශ්‍ය නම් එම පනත දින කිහිපයක් තුළ පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකියාව ඇත. ඊට අදාල කෙටුම්පත යහපාලන රජයේ කැබිනට් මණ්ඩලයත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කැබිනට් මණ්ඩලයත් අවස්ථා දෙකකදී අනුමත කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව එය කෙටුම්පත් කර අවශ්‍ය කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇත. එබැවින් තවදුරටත් කල්මැරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර ජනාධිපතතුමාගේ අවංකභාවය ප්‍රදර්ශනය කිරීමට හා ජනතා විශ්වාසය ගොඩනගාගැනීමේ ආරම්භයක් ලෙස එය සම්මත කිරීමට වහා කටයුතු කල හැකිය.

  3. පළාත් පාලන සභිකයන් ප්‍රමාණය වැඩිබව තේරුම්ගැනීමට පළාත් පාලන නිල කාලය වසර හතරක් අවසන්වී තවත් වසරක් කල්දමා එහිත් වලංගුභාවය අවසන් වන තෙක් කල්මැරීමෙන් පෙනීයන්නේ කුමක්ද? 8000 ක් වන සභික ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩුකිරීම කල යුතු බව අපද පිළිගන්නා නමුදු එම උත්සාහයේ සැබෑ අරමුණ කුමක්ද? ඒ සඳහා පක්ෂ අතර එකඟතාවයක් ලබාගෙන තිබේද? නැවත සීමානිර්ණයකට යාම හරහා අපේක්ෂා කරන්නේ දින නියමයකින් තොරව මැතිවරණ කල්දැමීම නොවන්නේද? රජය අවංක වන්නේ නම් සිදුකල යුත්තේ වහාම ජනතාවට තම මතය පලකිරීමට ඉඩලබාදී ඉන් අනතුරුව සංශෝධන වලට ප්‍රමාණවත් කාලයක් ලබාගැනීමයි.

  4. එමෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ සභික ප්‍රමාණය 8000 සිට 4000 දක්වා අඩුකිරීමේදී කාන්තා නියෝජනයේ සියයට 25 සහ ජනාධිපතිවරයා නිරන්තරයෙන් සඳහන් කරන තරුණ නියෝජනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල කවරේද?

  5. ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම පිළිබඳ දශක කිහිපයක සිට සාකච්ඡා කරමින් එහෙත් බලය ලැබුණු විට එය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන දේශපාලන සමාජයක, නියෝජනයේ පහළම ස්ථරය වන ප්‍රාදේශීය සභාපතිවරයාගේ බලය විමධ්‍යගත කිරීම ජනාධිපතිවරයා හදිසි අවශ්‍යතාවයක් ලෙස හඳුන්වන්නේ ඇයි? එසේ නම් එය ජනාධිපති ධුරයටද කිහිපගුණයක් අදාල නොවන්නේද?

  6. දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බව හා මනාප ක්‍රමය දේශපාලන දූෂණයට හේතුවන බව ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කලද ඔහු පවසන ආකාරයට මේ රටේ ජනතාවගේ ප්‍රධාන හා හදිසි ඉල්ලීම මැතිවරණ ක්‍රමයේ සංශෝධනයද? ජනතාව ඉල්ලා සිටින්නේ මහජන නියෝජිතයින් සිදුකරන හොරකම, වංචාව, අල්ලස, දූෂණය, රාජ්‍ය දේපළ අවභාවිතය හා මහජනයා සූරාකෑම, ජනතා මර්ධනය නවතන ලෙස නොවන්නේද? නීතියේ පාලනය, විනිවිදභාවය, කාර්යක්ෂම රාජ්‍ය පාලනය, ආර්ථික කළමණාකරණය, මූල්‍ය පාලනය, ජනතාවගේ ආර්ථික, සමාජයීය හා ජීවන මට්ටම උසස් තත්ත්වයකට ගෙනඒම නොවන්නේද? මැතිවරණ ක්‍රමය එහි එක් සාධකයක් පමණක් නොවන්නේද?

එවැනි පරිසරයක් තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා ජනතාව ඉදිරියට යන බව සඳහන් කරමින් ජනමත විචාරණයක් ලබාදීම මගින් සිදුකිරීමට උත්සාහ දරන්නේ රටත් ලෝකයත් මුලාකිරීමක් නොවන්නේද? එවැනි ජනමත විචාරණයක් මගින් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ නොවන අතර කිසිදු මහජන නියෝජිත ආයතනයකට කිසිදු බලපෑමක් ඇති නොකරයි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට රජය අවංකව උත්සාහ ගනු ලබන්නේ නම් හා ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ජනාධිපතිතුමා විශ්වාස කරන්නේ නම් ආසන්නයේම පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය සමගින් අතිරේක ඡන්ද පත්‍රිකාවක් එකතු කර ඊට අදාලව ජනතාවගේ මතය විමසීම බාධාවකින් තොරව සිදුකල හැකිය.

එමෙන්ම ජනාධිපතිතුමා යෝජනා කරන සෙසු සංශෝධන වන දේශපාලන පක්ෂ ලියාපදිංචිය හා ඊට අදාල නීති, මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හා සාරධර්ම පිළිබඳ නව නීති රීති, ජනමත විචාරණයකින් හෝ මැතිවරණ කල්දැමීමකින් තොරව ඉතා පහසුවෙන්ම සිදුකල හැකි බව අවධාරණය කරනු කැමැත්තෙමු. එබැවින් අප ගරු ජනාධිපතිතුමාගෙන් ඇතුලු රජයෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණ ක්‍රමයේ කඩිනම් සංශෝධන භාවිත කරමින් හා ජනමත විචාරණය භාවිත කරමින් ජනතාවගේ ඡන්ද අයිතිය පැහැර නොගන්නා ලෙසයි.

තවද මැතිවරණ කල්දැමීමකින් තොරව ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන එන සාධනීය මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා පැෆ්රල් සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවද ඉතා අවධාරණයෙන් යුතුව සඳහන් කරමු.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

leave a reply