Breaking News

“සරසවි සිසුන් 50කට ඒඩ්ස්” සඳහන් පුවත අසත්‍යයක් – ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂකවරිය

පසුගිය දා “සරසවි සිසුන් 50කට ඒඩ්ස්” යන සිරස්තලය යටතේ පුවතක් බොහෝ ජනමාධ්‍යවල පළවූ අතර එයට ලැබී තිබූ ප්‍රතිචාර මඟින් ද මෙවන් රෝග සම්බන්ධයෙන් හා රෝගීන් සම්බන්ධයෙන් වන ජනමතය පිළිබිඹු කෙරිණි.

කෙසේ නමුත්, අදාළ ලිපිය සඳහා අදහස් දක්වා තිබූ ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂකවරිය වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චිගෙන් විමසූවිට ඇය සිරස්තලයේ සඳහන් පුවත අසත්‍යයයි පැවසූ බව බීබීසී සිංහල සේවය වාර්තා කර තිබේ.

“යුනිවර්සිටි ළමයි 14ක් ඉන්නේ. 50ක් විතර ඉන්නේ තරුණ පරම්පරාව – ඒ කියන්නේ 18යි 30යි අතරේ. ඒ ඔක්කොම කැම්පස් ළමයි නෙවෙයි.”

කෙසේ නමුත් තරුණ වයස්වල පසුවන්නන් අතර HIV ආසාදනයවීම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණවී ඇතැ යි ඇය පවසයි. HIV වෛරසයට අමතරව, ගොනෝරියා හා සිෆිලිස් වැනි රෝග ආසාදනයවීම් වාර්තාවීම ද ඉහළගොස් තිබේයැ යි අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ දත්තයන් ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනේ වසංගතවේද අංශයෙන් විමසනලදුව, 2021 වසරේ පළමු හා දෙවන කාර්තුවලට සාපේක්ෂව 2022 වසරේ පළමු හා දෙවැනි කාර්තුවල දී වාර්තාවී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 85%කින් පමණ ඉහළගොස් ඇතැ යි වාර්තා කර තිබේ.

2021 වසරේ ජුලි සිට දෙසැම්බර් දක්වා වන කාර්තු ද්විත්වයේ දී වාර්තාවූ නව ආසාදිතයින් ගණන 263ක් වන නමුත් මෙවසරේ තෙවැනි කාර්තුවේ දී පමණක් ආසාදිතයින් දළ වශයෙන් 156ක් පමණ වාර්තාවී ඇතිවග අදාළ අංශය ප්‍රකාශ කර ඇත.

නමුත්, මෙසේ ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවී ඇත්තේ ආසාදනය වන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළයෑම නිසා ද, නැතහොත් HIV ආසාදනයන් සඳහා පරීක්ෂා කෙරෙනා පුද්ගලයින් සංඛ්‍යාව ඉහළයෑම නිසාදැ යි විමසූකල වසංගතවේද අංශය ප්‍රකාශකර සිටියේ එය නිශ්චිතව පැවසීමට අපහසුබව යි.

leave a reply