Breaking News

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමේ අයවැය යෝජනාව පුස්සක් වෙයිද?

අයවැය හරහා වැටුප් වැඩිකිරීම ගැන මතුවී ඇති සාකච්ඡාව ප්‍රධාන ලෙස යොමුවී ඇත්තේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම ගැන සාකච්ඡා කිරීමටයි. නමුත් අමතක නොකළ යුතු කරුණක් ලෙස තිබෙන්නේ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීමක් ද ආණ්ඩුව අයවැය හරහා යෝජනා කළ බවයි.

මෙම වැටුප් වැඩිවීම සඳහා පෞද්ගලික අංශය එකඟ වී ඇතිද යන්න ගැන ආණ්ඩුව කිසිවක් පවසා නැත.

මේ අතර අවම වැටුප් වැඩි කිරීමට පෙර ශ්‍රී ලංකා රජය පුද්ගලික අංශය සමඟ සාකච්ඡා කළ යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික බුද්ධි අංශයේ ප්‍රධානී සංජය ආරියවංශ පවසා තිබේ. පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළකල බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

“පෞද්ගලික අංශය කියන්නේ, සම්පුර්න පෞද්ගලික අංශයටම වැටුප් වැඩිවීමකට යනවට වඩා, ලංකා වාණිජ මණ්ඩලය සමඟ , හාම්පුතුන්ගේ සම්මේලනය සමඟ කොටස් හිමියන් සමඟ සම්බන්ධ වී මේ ගැන සාකච්ඡා කරන්න,” ඔහු පවසා ඇත.

”මොකද සැලසුමක් නොමැතිව හිතුමතේ තීරණ ගැනීමෙන් පලක් නැහැ. බොහෝ ප්‍රශ්න සම්බන්ධයෙන් අප කරමින් සිටින්නේ එයයි.”

වත්මන් අයවැයෙන් පෞද්ගලික අංශයේ අවම වැටුප් මසකට 21,000 සිට 2025 අප්‍රේල් වන විට 27,000 දක්වා සහ 2026 සිට 30,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරන ලදී.

කෙසේවෙතත් බොහොමයක් පෞද්ගලික සමාගම් මීට පෙර තිබූ 21000 හෝ ලබා නොදෙන බවට වෘත්තීය සමිති චෝදනා කර තිබේ. මෙම සමාගම් විශ්‍රාමික අරමුදල් ගණනය කරන්නේ මූලික වැටුප 17500 වැනි අගයක තබායි. පළමු ප්‍රශ්නය ලෙස තිබෙන්නේ පෙර පැවති 21000වත් ලබා නොදීමේ ප්‍රශ්නයයි. ඒ අනුව මෙම නව මුදල් වැඩිකිරීම ලබාදේවී ද යන් සැකය මතුව තිබේ.

මේ සියලු වැරදි නිවැරදි කරමින් වාණිජ මණ්ඩලයේ ප්‍රධානීන්ගේ ද උපදෙස් නොතකා මෙම වැටුප් වැඩිවීම ලබාදෙන බව ආණ්ඩුව විශ්වාස කරන්නේ නම් පළමුව කළ යුත්තේ ඒ බව සඳහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමයි. නමුත් තවමත් ආණ්ඩුව පාර්ශවයෙන් එවැනි දෙයක් සිදුවී නැත.

leave a reply