Breaking News

අයි.එම්.එෆ්. නියෝජිතයන් අනුර සහ රනිල් දෙදෙනාම හමුවෙයි

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිස වත්මන් ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද හමුවී තිබේ. එහිදී පත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ලද ජයග්‍රහණයත් සමග ජනවරමේ සන්දර්භය අවබෝධ කරගනිමින්

 

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය සිය සූදානම බව යළි තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

 

 

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති දිසානායක සහ නව රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් හමුවූ අවස්ථාවේදීය.

 

මෙම හමුවේදී මෙරට ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනේ සමතුලිතතාවයක් ඇති කර ගන්නා ලෙස ජනාධිපති දිසානායක IMF වෙතින් ඉල්ලා සිටියේය.

 

ඊට අමතරව සමාජ වියදම් කෙරෙහි අවධානය යොමු කිරීම, ළමා දරිද්‍රතාවය, මන්දපෝෂණය, සහ විවිධ ආබාධ සහිත අයට උපකාර කිරීමේ වැඩසටහන් සඳහාද වැඩි බරක් තබන්නැයිද රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද ජනපතිවරයා අරමුදල වෙත කරුණු දැක්වීමක් සිදු කළේය.

 

IMF වැඩසටහන පාලනය පිළිබඳ මහජන විශ්වාසය නැවත ගොඩ නැගීම මත රඳා පවතින බවද මෙහිදී අවධාරණය වී ඇත.

 

IMF කණ්ඩායම සහයෝගීතාව පිළිබඳ ශුභවාදී අදහස් ප්‍රකාශ කරමින් ජනාධිපතිට සහ ඔහුගේ රජය ලද ඔවුන්ගේ තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබ පැතූහ.

 

 

IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පාලනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩ නැගීම මත බව අවධාරනය කළ ජනපතිවරයා ජනවරම තහවුරු කිරීමේ තම පරිපාලනයේ වගකීම නිසියාකාරව ඉටු කරන බව සඳහන් කළේය.

 

 

ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීමට තම රජය දක්වන කැපවීම අවධාරණය කළ ජනපතිවරයා, පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ සමබර ප්‍රවේශයක් පවත්වාගෙන යන ලෙස IMF වෙතින් ඉල්ලා සිටි බව ් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

තම නායකත්වය යටතේ ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය පිටුදැකීමට සහ ආබාධ සහිත පුද්ගලයන්ට වඩා හොඳ සහයෝගයක් ලබා දීමට ප්‍රමුඛත්වය දෙමින් සමාජ වියදම් ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිතා කරන බවට ජනපතිවරයා මෙහිදී සහතික විය.

 

පසුගිය පරිපාලනය යටතේ සමාජ වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහන් කළ අතර, සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට ජනාධිපති දිසානායක ට කරුණු පෙන්වා දුන්නේය.

 

පාලනය සහ දූෂණයට එරෙහි වීම ද සාකච්ඡාවට මූලික විය. ජනතාව ලබාදුන් ජනවරමේ ප්‍රධාන අංගයක් වන දූෂණයට එරෙහි සටනට තම පරිපාලනයේ කැපවීම ජනාධිපතිවරයා යළිත් අවධාරණය කළේය. විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ ආයතනික ව්‍යුහයන් වැඩිදියුණු කිරීම සඳහා තම රජය දැඩි නීති ක්‍රියාත්මක කරන බවට ජනපතිවරයා IMF කණ්ඩායමට සහතික විය.

 

මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා දීර්ඝකාලීන ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළ බවයි.

leave a reply