Breaking News

මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනා කෙටුම්පතක්

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ලංකාව සම්බන්ධ යෝජනා ඇතුළත් නව කෙටුම්පතක් ප්‍රසිද්ධ කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ 46/1 යෝජනාවේ තේමාව වූ මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරලීමේ තේමාව යටතේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රට වලින් සැඳුම් ලත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික කණාඩායම (Core Group) විසින් සම අනුග්‍රහය දක්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනා කෙටුම්පත ඒ අනුව අද (සැප්තැම්බර් 14 වැනි බදාදා) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.

උග්‍රවන ආහාර අනාරක්ෂිත භාවය, දැඩි ඉන්ධන හිඟය, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය සහ ගෘහාශ්‍රිත ආදායම් අඩුවීම ඇතුළු ආර්ථික අර්බුදයේ මානව හිමිකම් බලපෑම් පිළිබඳව යෝජනා කෙටුම්පතෙන් අවදානය යොමු කර ඇත.

ඉන් දෛනික වැටුප් ලබන්නන්, දරුවන්, වැඩිහිටි පුද්ගලයින් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු බොහෝ ආන්තික සහ අවාසි සහගත පුද්ගලයින්ගේ මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර තිබේ.

එය 2022 අප්‍රේල් මාසයේ සිට සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ අත්අඩංගුවට ගැනීම් මෙන්ම රජයේ ආධාරකරුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, මරණ, තුවාල, විනාශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට හානි සිදුකිරීම ඇතුළු අනෙකුත් මානව හිමිකම් වර්ධනයන් පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.

ස්වාධීන පරීක්ෂණවල වැදගත්කමද යෝජනා කෙටුම්පත මඟින් අවධාරණය කරන අතර සියලු ප්‍රහාර හා ඊට සම්බන්ධ වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒම පිළිබඳව ද යෝජනා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික කණ්ඩායම කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිවිල් ආණ්ඩු කටයුතු අඛණ්ඩව මිලිටරිකරණය කිරීම ගැන සැළකිලිමත් වන බවයි.

එනම්

මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු ප්‍රධාන ආයතනවල සහ අධිකරණයේ ස්වාධීනත්වය ඛාදනය වීම
දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ දීර්ඝ කාලීන දුක්ගැනවිලි සහ ඉල්ලීම් විසඳීමේ ප්‍රගතියක් නොමැතිකම
මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂකයින්, අතුරුදහන් වූවන්ගේ පවුල් සහ අනුස්මරණ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් බිය ගැන්වීම සහ හිරිහැර කිරීම
ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය
යන කරණු පිළිබඳව යෝජනා කෙටුම්පතින් අවදානය යොමු කර තිබේ. ස්වාධීනත්වයක් නොමැතිකම,අපක්ෂපාතීත්වය සහ දේශීය යාන්ත්‍රණවල අඛණ්ඩව විනිවිදභාවයක් නොමැතිකම, මානව හිමිකම් නඩු ප්‍රමාදයන් මෙන්ම මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීම් සම්බන්ධ අපරාධවලට සම්බන්ධ චූදිතයන්ට හෝ වරදකරුවන්ට ජනාධිපති සමාව ලබා දීම තුළින් යටපත් වී ඇති බව කෙටුම්පත මගින් පෙන්වා දී ඇත.

කෙටුම්පත් යෝජනාව තුළින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ දැනට පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙසයි.

එය නැවත සිදු නොවීමට සහයක් ලෙසත්, රාජ්‍ය නිලධාරීන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ විමර්ශනය කිරීම සහ නඩු පැවරීමේ අවශ්‍යතාවයද කෙටුම්පත මඟින් අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන ප්‍රයත්නයන්ට සහාය වීමට ද කෙටුම්පත මඟින් යෝජනා කර තිබේ.

leave a reply