Breaking News

වසන්ත සමරසිංගේ වංචා නඩුව: විමර්ශන අවසන් වීමට පෙර විමර්ශන ගොනුව නීතිපතිට යවලා

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර, විමර්ශන අවසන් කිරීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා මෙම නඩුවේ විමර්ශන ගොනුව යොමු කරන ලද්දේ ඇයිදැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගෙන් (අගෝස්තු 22 වැනිදා) ඊට අදාළ නඩුව කැඳවීමේදී විමසා තිබේ.

පසුගිය නඩුවාරයේදී මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව අගෝස්තු 14 දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින අමාත්‍ය වසන්ත සමරසිංහ යන අය කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ ලබාදුන් ප්‍රකාශ කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මගින් අගෝස්තු 22 දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙලෙස විමසා ඇත.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා නොදුන් අතර ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර තිබිණි.

මේ වනවිට විමර්ශනයට අදාළව සියලුම ප්‍රකාශ සටහන් කර අවසන් බවත් 2020 වර්ෂයේ නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණද එම නියෝග ක්‍රියාත්මක නොකොට අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් උවමනා බව පොලිසිය පවසා සිටින බවත්, නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටියදී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත්, මහේස්ත්‍රාත්වරිය හට මේ වන විට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ මෙම නඩුව නිසා යැයි තමන් විශ්වාස කරන බවත්, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පවසා සිටියේ ය. තමාගේ ස්ථාන මාරුව මෙම නඩුවට අදාළව සිදු වුවක් නොවන බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණයක් බව මහේස්ත්‍රාත්වරිය එහිදී පවසා ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා නියෝග ලබාදීමට නැවත මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 26 වන දින කැඳවීමට නියමිත ය.

leave a reply

Hits

Must see news