Breaking News

මින්නේරිය ලෝකයට ගෙන ගිය මහා වනජීවී ආශ්චර්යය අපට අහිමි වෙයිද?

සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතරින් මිහිමත වෙසෙන විශාලතම ගොඩබ්ම් ජීවීන් වන අලි ඇතුන් දිවිගෙවන ජාතික උද්‍යාන වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අලි ඇතුන් වැඩිම සංඛ්‍යාවක් එක් ස්ථානයකදී නැරඹීම සඳහා ඉඩකඩ සැලසෙන මින්නේරිය ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ වනජීවීන් සහ ජාතික උද්‍යාන පාදක කරගත් සංචාරක කර්මාන්තයේ තෝතැන්නකි. ‘ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන් දහය’ නියෝජනය කිරීමට මුළුමහත් දකුණු ආසියාවෙන්ම හැකියාව ලබාගත් එකම වනජීවී ආශ්චර්යයද නිමැවෙන්නේ මින්නේරිය පාදක කරගනිමිනි. නමුත් අවාසනාවට කරුණ නම් ඊනියා සංවර්ධනයේ දංගෙඩියට මේ වන විට මෙම මහා වනජීවී පුදුමය හසුවී තිබීමයි.

සෑම වසරකම, වියළි කාලයේදී මින්නේරිය ජාතික උද්‍යානයේදී ‘ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන් 10 න් එකක්’ මැවෙන බව සඳහන් කරන්නේ ජාත්‍යන්තරව පිළිගත් සංචාරක මාර්ගෝපදේශකයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) සඟරාවයි. මැයි සිට ඔක්තෝබර් දක්වා මින්නේරිය ජාතික උද්‍යානයේ දිගහැරෙන මෙම වනජීවී ආශ්චර්යය වාර්ෂික වන අලි ඒකරාශීවීමයි (Elephant gathering). එහි උච්චතම අවස්ථාව වන අගෝස්තු – සැප්තැම්බර් වන විට, 400 ක් තරම් වන අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මින්නේරි ජලාශයේ වැව් පිටියේ තණ බිම් මතට රැස් වේ. මෙසේ මින්නේරිය ජාතික උද්‍යානය වෙත වියළි සමය එළැඹීමත් සමගම අලි ඇතුන් ඒකරාශීවීමට හේතුව වන්නේ ක්‍රමයෙන් සිඳී යන ජලාශයේ මතුවන වැව් පිටියේ වර්ධනයවන නැවුම් තණකොළයි. ඒවා වියළි සමයේ අලි ඇතුන්ට ඉතා රසවත් මෙන්ම පෝෂණීය ආහාර වෙයි. එය ප්‍රදේශයේ වන අලි ඇතුන් සංරක්ෂණයට විශාල සහයක් ලබාදෙන අතරම සෑම වසරකම මිලියන ගණනක් දේශීය හා විදේශීය සංචාරකයින් උද්‍යානය වෙත ආකර්ෂණය වීමටද හේතු වෙයි.

සංචාරක සංවර්ධන විශේෂඥයෙකු සහ පර්යේෂකයෙකු වන ශ්‍රීලාල් මිත්තපාල මහතා පවසන්නේ මෙරටට පැමිණෙන සියලු විදේශ සංචාරකයින්ගෙන් සියයට තිස්පහක් පමණ පසුගිය ඉතිහාසය පුරා ජාතික උද්‍යාන නැරඹීම සිදුකර ඇති බවයි. නමුත් අප්‍රේල් 21 ප්‍රහාරය සහ කෝවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පසුබෑමකට ලක්වීමට පෙර අවසන් වශයෙන් 2018 වසර වන විට එම ප්‍රතිශතය සියයට හතළිස්‌හත දක්වා ඉහළට ගමන්කර තිබේ. මෙම සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ශකයන් බවට පත්වන්නේ අලි ඇතුන් සහ කොටියන් වැනි සතුන්. මින්නේරිය ජාතික උද්‍යානයේ අලි ඇතුන්ට සංචාරක කර්මාන්තය හරහා ලැබී ඇති මුල්‍යමය වටිනාකම පිළිබඳව සිදුකරන ලද තක්සේරුවකදී අනාවරණයවී ඇත්තේ එක් සංචාරක සමයකදී මින්නේරිය ජාතික උද්‍යානයේ වන අලි ඒකරාශීවීම හරහා එහි පැමිණෙන එක් අලියෙකු රුපියල් මිලියන දහයක් පමණ අපේ රටට උපයා දෙන බවයි. ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෆාරි ජීප්රථ කර්මාන්තය සහ සංචාරක හෝටල් මගින් උපයන ලද ආදායම ඇතුලත්. නමුත් මේ වන විට ඉතා අවාසනාවන්ත ආකාරයට මින්නේරිය ජාතික උද්‍යානයේ වන අලි ඒකරාශීවීම අතීත මතකයක් බවට පත්වෙමින් ඇත්තේ කිසිඳු බලධාරියෙකුගේ අවධානයට ලක් නොවෙමින් වීම විමතියට කරුණකි.

හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ වනජීවී පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සඳහන් කරන්නේ තමන්ගේ නිරීක්ෂණ අනුව මෙම වසරේ මින්නේරිය වැව් පිටියේ දිනකට දැකගත හැකිව ඇත්තේ අලි ඇතුන් පනහක පමණ ඉතා සුළු සංඛ්‍යාවක් බවයි. නමුත් පෙර ඉසිලූ ප්‍රසිද්ධිය හේතුවෙන් මෙම උද්‍යානය වෙත තවමත් විදේශීය සංචාරකයින් බොහෝසෙයින් ඇදී එන බවත්, අපේක්ෂාකළ ආකාරයෙන් අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් දැකීමට නොලැබීම හේතුවෙන් ඔවුන් ඉච්ඡාභංගත්වයට පත්වන බවත් ඔහු අවධාරණය කරයි. තවද මෙම වැව් පිටියෙන් අපේක්ෂිත ආහාර ඉලක්කය සපුරාගැනීමට අපොහොසත් වීමෙන් අලි ඇතුන් කෘෂවී ඇති ආකාරය තමා නිරීක්ෂණය කළ බවද ඉකුත් ජූනි 30 දින එක් අලි පැටවෙකු වැව් පිටියේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව සිටි බවද ඔහු සඳහන් කරයි. එම අලි පැටවාගේ පස්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව මන්දපෝෂණය හා කුසගින්න බව තහවුරුවූ බවද මේ වන විටත් කුසගින්න නිසා මරණාසන්නවූ ගැහැණු සතෙකු වැව් පිටියේ සිටින බවද ආචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මින්නේරිය ජාතික උද්‍යානයේ අලි ඇතුන් පිළිබඳව දීර්ඝකාලීන අධ්‍යනයක නිරතව සිටින ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය 2018 වසරේ මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් මින්නේරිය ජලාශයට ජලය මුදාහැරීමත් සමග ක්‍රමිකව ඇතිවූවක් බවයි. මින්නේරිය ජාතික උද්‍යානය වෙත ඒකරාශීවන අලි ඇතුන් ප්‍රමාණය ඉහළම අගයක් වෙත ළඟාවන සැප්තැම්බර් මාසයේ දෛනිකව වාර්තාවූ වන අලි සංඛ්‍යාවේ සාමාන්‍ය පිළිබඳව ආචාර්ය පිලපිටියගේ නිරීක්ෂණ අනුව 2017 වසරේ දිනකට අලින් 402 නිරීක්ෂණය වී ඇත. 2018 වසරේදී එම සංඛ්‍යාව 354 දක්වා අඩුවී ඇත. ක්‍රමිකව අඩුවී ඇති එම සංඛ්‍යාව ඉකුත් වසර වන විට 20 දක්වා ඉතාම බරපතල ලෙස අඩුවී තිබේ. ජලාශයේ ජලය පිරී තිබීම නිසා තෘණ පිටි නිර්මාණය නොවීමෙන් අලි ඇතුන්ට ආහාර හිඟවීම ඊට හේතුව බව ඔහුගේ නිගමනයයි (2021 වසරට වඩා මදක් වැඩි අලි ඇතුන් ප්‍රමාණයක් මෙම වසරේ වාර්තාවී ඇත්තේ එම වසරට සාපේක්ෂව වැඩි තෘණ භූමි ප්‍රමාණයක් නිර්මාණයවී තිබීම හේතුවෙනි).

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ සිටින දෙස් විදෙස් පතල අලි ඇතුන් පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම කලාපයේ පුළුල් ප්‍රදේශයක ජීවත්වන අලි ඇතුන් වියළි සමයේදී මින්නේරිය, කවුඩුල්ල සහ අංගම්මැඩිල්ල (පරාක්‍රම සමුද්‍රය) ජාතික උද්‍යාන වෙත සංක්‍රමණය වන බව චන්ද්‍රිකා කරපටි පළඳවන ලද අලි ඇතුන් කිහිපදෙනෙකුගේ හැසිරීම් රටා නිරීක්ෂණය කිරීමෙන් පෙනීයන බවයි. තමන්ගේ නිරීක්ෂණ අනුව මින්නේරිය ජාතික උද්‍යානයේ සැරිසරන පිරිමි සහ ගැහැණු අලින්ගේ මෙන්ම පැටවුන්ගේද ශරීර තත්ත්වය 2019 වසරේ සිට පිරිහෙමින් පවතින බව පෙන්වා දෙන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා 2021 වසර වන විට ශරීර තත්ත්වය ඉතාමත් දරුණු ලෙස පිරිහී ඇති බවත් පෙන්වා දෙයි. ඒ අනුව මේ වන විට අලි ඇතුන් පත්ව ඇති තත්ත්වය ඉතාම භයානක බව ඔහු අවධාරණය කරයි. ඔහු පවසන්නේ මිනිසුන්ගේ භවබෝග හෝ ආහාරයට ගනිමින් තනි අලින් ලෙස ජීවිත පවත්වාගෙන යන වැඩිමහල් පිරිමි අලින්ගේ ශරීර තත්ත්වයද පසුගිය වසර කිහිපය මුළුල්ලේම පිරිහෙමින් පවතින අතර මේ වසර වන විට පැවතිය යුතු අවම මට්ටමට ළඟාවී ඇති බවයි. එසේම ගැහැණු සතුන් සහ පැටවුන්ගේ ඉරණම වඩාත් ඛේදණීය බව පෙන්වාදෙන ආචාර්යවරයා අවධාරණය කරන්නේ එම සතුන්ගේ ශරීර තත්ත්වය මේ වසර වන විට පැවතිය යුතු අවම මට්ටමට වඩා විශාල ලෙස පහළ වැටී ඇති බවත් දැනටමත් කුඩා පැටවුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී තිබීමට ඉඩ ඇති බවත්. එබැවින් මෙම තත්ත්වය  යම් තරමකට හෝ සමනය කර ගැනීමට නම් ඉතා කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය බව ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා පවසයි.

ලෝක බැංකු ආධාර යටතේ ESCAMP ව්‍යාපෘතිය හරහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරපටි පළඳවන ලද අලි ඇතුන්ගේ සංක්‍රමණ දත්ත අනුසාරයෙන් මේ අලි ඇතුන් මුහුණපා සිටින තත්ත්වය පිළිබඳව වැඩි අවබෝධයක් ලබාගැනීමට හැකියාව ඇති නමුත් එම දත්ත අදාළ දෙපාර්තමේන්තුව මගින් විශ්ලේෂණයට භාජනය නොකිරීම ගැටළුවක් බවත් හෙතෙම පවසයි. තවද බාහිර සංරක්ෂණ හෝ පර්යේෂණ ආයතන වෙත එම දත්ත වෙත ප්‍රවේශවීමට අවසර ලබා නොදෙන බවද ආචාර්යවරයා වැඩි දුරටත් පවසයි. ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරනු ලබන්නේ එම දත්ත පර්යේෂකයන් සමඟ බෙදා ගන්නා බවට අදාළ දෙපාර්තමේන්තුව ලෝක බැංකුව සමඟ ගිවිසුම් ගතවී ඇති පසුබිමකයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ 2021 වසරේ ඇතිවූ ඉන්ධන ගැටළුව නිසා මොරගහකන්ද ජලාශයෙන් වැඩි ජල ප්‍රමාණයක් විදුලිය උත්පාදනය සඳහා නිකුත් වු බවත්, පොහොර අර්බුදය නිසා යල කන්නයේ වගාව සාමාන්‍ය අගයට වඩා අඩු වු බවත්. එබැවින් ජල අතිරික්තයක් ඇතිවූ බවත් එම ජලය මුහුදට නොයවා මින්නේරිය ජලාශයේ රඳවා තැබූ බවත් ඔහු පවසයි.

නමුත් ප්‍රශ්නය වන්නේ අසාමාන්‍ය ලෙස මොරගහකන්දෙන් නිකුත් වු ජලය වැඩි ප්‍රමාණයත් වගාවන් අඩුවිම නිසා ඉතිරිවූ අතිරික්තයත් රඳවා ගැනීමේ ප්‍රයෝජනය කුමක්ද යන්නයි. මෙම අතිරික්තය ඇති වන්නේ වියළි සමයේයි. නමුත් එය රඳවා ගැනීමෙන් සිදු වන්නේ වසර අවසානයේ නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ලැබෙන ජලයද අතිරික්ත වීම සහ ඒවා වාන් දමමින් කිසිඳු ප්‍රයෝජනයක් නොමැතිව මුහුදට ගලා යාමයි. වියළි සමයේ අතිරික්ත ජලය ඉවත්කර මින්නේරිය ජාතික උද්‍යානයේ තෘණ භූමි නිරාවරණය වීමට ඉඩ සැලසුවා නම් අලි ඇතුන්ට ආහාර අහේනියක් ඇති නොවන අතර, ජලය සම්බන්දයෙන්ද ගැටළුවක් ඇති නොවේ. නමුත් මේ වනවිට ජලයට අනවශ්‍ය ලෙස ලොබ බැඳ සිදුකර ඇති කටයුත්ත හේතුවෙන් ඇතිවී ඇත්තේ ‘නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති’ තත්ත්වයක් බව ඕනෑම නොදරුවෙකුට වුව වැටහේ.

ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පවසන්නේ මෙම ජලය රැස්කිරීමෙන් අලින්ට වන බලපෑම් සම්බන්දයෙන් මෙවැනි සිදුවීමක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් තම දෙපාර්තමේන්තුව සමග කිසිඳු විටක සන්නිවේදනයවී නොමැති බවයි. නමුත් සංචාරක අධිකාරිය, වනජීවී ලෝලීන් සහ ජනමාධ්‍ය මේ පිළිබඳව තමන්ගෙන් විවිධ අවස්ථාවල සිදුකර ඇති විමසීම් මත මේ පිළිබඳව සොයා බැලීම් සිදුකර ඇති බවත් තමන්ගේ දෙපාර්තමේන්තු විෂය පථයට අදාලව මින්නේරිය ජලාශයේ කටයුතු ඉතා හොඳින් සිදුවන බවත් ඔහු පවසයි. නමුත් අලි ඇතුන්ට යම්කිසි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී ඇත්නම් ඊට අදාළ ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තම දෙපාර්තමේන්තුව ඉතා උනන්දුවෙන් පසුවන බවත් අන්තර් පාර්ශවීය සම්බන්ධීකරණය දුර්වලවීම මෙම තත්ත්වය ඇතිවීමට තුඩුදී ඇති බව තමන්ට හැඟීයන බවත් ඒ මහතා වැඩි දුරටත් පවසයි.

ඉඩම් අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා පුද්ගලයන් ලක්ෂ 15කට සෙත සැළසීම සහ පුද්ගලයන් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයීම මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වෙයි. නමුත් වාර්ෂිකව රටට හිමිවූ රුපියල් බිලියන ගණනක් වටිනා විදේශ විණිමය අහිමිකරමින් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අස්වැද්දීමේ වැදගත්කම කුමක්ද යන්න බලධාරීන් දැන්වත් විමසා බැලය යුතුයි. තවද මෙම පාරම්පරික වියළි සෘතු ගොදුරුබිම අහිමි වීමෙන් ආහාර හිඟයට මුහුණදෙන අලි ඇතුන් නිතැතින්ම ප්‍රදේශයේ ජනතාවගේ නිවාස, ගෙවතු සහ කුඹුරු බිම් ආක්‍රමණය කිරීම නොවැලැක්විය හැකියි. එයින් සිදුවන්නේ දැනට අලි-මිනිස් ගැටුමෙන් පීඩා විඳින අහිංසක දුප්පත් ගොවි ජනතාව කබලෙන් ලිපට වැටීම සහ තවත් අලුත් පිරිසක් අක්‍රමවත් සංවර්ධනයේ අනාථයන් බවට පත්වීම පමණයි. ඒ බව මොනවට පැහැදිළි වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත වලට අනුව, 2020 වන විට ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම් සිදුවීම් 2017 ට සාපේක්ෂව හය ගුණයකින් වැඩි වී ඇති බැවින්. අලි ඇතුන්ගේ ගැහැණු සතුන් සහ පැටවුන් මිනිසුන්ගේ භවබෝග ආක්‍රමණය කිරීමක් සිදු නොකරන අතර ඔවුන්ටත් සිදුවන්නේ කුසගින්නේ සහ මන්දපෝෂණයෙන් මරණයට පත්වීමටයි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ආසියානු අලි උප විශේෂයේ අනාගත ඉරණම තීරණය කරනු ලබන්නේ කුමන ආකාරයකින්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකර අපේ රටට උරුම මෙකී ‘ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යය’ නැවතත් මින්නේරිය ජාතික උද්‍යානයේ දිගහැරෙන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වගකිවයුතු සියලු දෙනාගේ යුතුකම සහ වගකීමයි.

ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය මගින් සංවිධානය කෙරුණු සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස්වී ඇත.

සුපුන් ළහිරු ප්‍රරකාශ්

leave a reply