Breaking News

ඖෂධ 525ක් සහ වෛද්‍ය උපකරණ 5376ක තොග අවසන් – රජයේ ඖෂධවේදීන්ගේ සංගමය

දිවයින පුරා සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ 50%ක පමණ ඖෂධ හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනාවරණය කරයි.

ජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න ප්‍රකාශකර ඇත්තේ රෝහල්වල තිබිය යුතු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 239ක් හා ජීවිතාරක්ෂක ඖෂධ 6ක්, අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 2721ක් මේ වන විට නොමැතිබව යි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු වන අතර, ඉන් 525ක් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැති බව ද ඔහු සඳහන් කර ඇත.

රෝහල්වල පැවතිය යුතු ශල්‍ය ද්‍රව්‍ය වර්ග 8553න් මේ වන විට 5376ක තොග අවසන්ව ඇති බව ද පවසන තිලකරත්න තව දුරටත් පවසා සිටියේ, මේ හේතුවෙන් රෝහල් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම ඉතා අපහසු තත්ත්වයකට පත්ව ඇති බව ය.

හෘද රෝගීන්, පිළිකා රෝගීන් හා, වකුගඩු රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ද හිඟයක් පවතින බව අජිත් තිලකරත්න පවසයි. එම හේතුවෙන් කොන්දේසි රහිතව රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට සූදානම් බව ද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් රජයට දන්වා සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.

“ඉදිරි සති හය අතිශය අමාරු, භයානක, තීරණාමක කාලයක්. ඖෂධ නොමැතිවීම නිසා රෝගීන් කවුරුවත් මිය ගිහිල්ලා නැහැ. ඉස්සරහට හැබැයි ඉඩ තියෙනවා. විශාල ඉඩකඩක් තියෙනවා.” ඔහු පවසයි.

“මේක සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහත්තයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ආණ්ඩුව විසින් ගන්න ඕන වේලාවට ඒ තීරණ ගත්තේ නැහැ. අපි මේ මාස හතරක් තිස්සේ මේ කතාව කියනවා LC ඕපන් කරන එක කඩිනමින් පටන් ගන්න කියලා. නමුත් ඒක කළේ නැහැ. ඒකේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම භාරගන්න ඕනේ,” ඔහු පවසා ඇත.

මෙම තත්ත්වය තම සීමාවන්ගෙන් පිටතටගොස් ඇති බැවින් ඉදිරියේ දී රෝහල් පද්ධතිය කඩා වැටෙනු ඇති අතර, අසරණ රෝගීන් ඖෂධ නොමැතිකම හේතුවෙන් අන්ත අසරණ තත්ත්වයට පත්වුණු ඇතැ යි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

leave a reply