Breaking News

vat නිසා දේශීය නිපදවන ඖෂධ මිල 20%න් ඉහළට

ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර සහ එම නිෂ්පාදනවලට අවශ්‍ය ඇසුරුම් ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කර නොමැති හෙයින් මෙරට නිෂ්පාදනය කරන
ඖෂධ මිල සියයට විස්සකට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යන බව ඖෂධ නිෂ්පාදකයෝ පවසති.

වැට් බද්දෙන් නිදහස්කර ඇත්තේ ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය පමණක් යැයි ද යන්ත්‍ර සූත්‍ර සහ ඇසුරුම් ද්‍රව්‍යවලට අමතරව ප්‍රවාහන ඇතුළු කටයුතුවල දී ද නිෂ්පාදකයන්ට වැඩි මිලක් ගෙවීමට සිදුව ඇතැයි ද එම වැඩි වන මිල පාරිභෝගිකයන් මත පැටවීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ඔවුහු සඳහන් කරති.

අමුද්‍රව්‍යවලට හැර වෙනත් කටයුතු සඳහා බද්ද ද ඇතුළත්ව වැඩි මිලක් ගෙවීමට සිදු වන හෙයින් නිෂ්පාදන පිරිවැය ඉහළ යන බව ද එවිට නිෂ්පාදන අවම කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද පවසන ඔවුහු මෙම තත්ත්වය සම්පූර්ණයෙන් දේශීය නිෂ්පාදකයා අධෛර්යමත් කර ඖෂධ ආනයනයට දිරිදීමක් බවට ද චෝදනා කරති.

ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව වැට් බද්ද ඉහළ දැමීම සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සමග කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වීම මෙම අහිතකර තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවත් කර්මාන්තශාලාවල නිෂ්පාදන සීමා කිරීම නිසා සේවකයන් ද සීමා කිරීමට සිදුවීම අනිවාර්ය බවත් නිෂ්පාදකයෝ කියා සිටිති.

ඖෂධ නිෂ්පාදන දේශීය කර්මාන්ත ශාලා විස්සක් පමණ පවතින බවත් තවදුරටත් ඔවුන් අධෛර්යමත් නොකිරීමට නම් පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍ය බවත් ඔවුහු සඳහන් කරති.

බදු නිසා මිල ඉහළ යන දේශීය ඖෂධ නිෂ්පාදන ඉදිරි මාස දෙකක පමණ කාලය ඇතුළත වෙළෙඳපොළට පැමිණීමට නියමිත ය.

leave a reply